1. 3. 2. 4.
4. ධර්මකථික සූත්‍රය
116. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන් ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“ස්වාමීනි, ධර්මකථිකය ධර්මකථිකයයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් ධර්මකථිකයෙක් වේද, කෙතෙක් කරුණකින් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන්නේ වෙයිද? කෙතෙක් කරුණකින් මෙලොවදීම නිර්වාණයට පැමිණියෙක් වේදැයි” කියායි.
“ඉදින් මහණතෙම රූපයාගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස ධර්මය දේශනා කරයිද, හෙතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම රූපයාගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස පිළිපන්නේ වෙයිද, හෙතෙම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. මහණතෙම රූපයාගේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් දැඩිකොට අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද, හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“මහණෙනි, වේදනාවගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස ධර්මය දේශනා කරයිද, හෙතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම වේදනාවගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස පිළිපන්නේ වෙයිද, හෙතෙම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “මහණතෙම වේදනාවගේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් දැඩිකොට අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. “මහණෙනි, සංඥාවගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස, ධර්මය දේශනා කරයිද, හෙතෙම ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සංඥාවගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස පිළිපන්නේ වෙයිද, හෙතෙම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “මහණතෙම සඤ්ඤාවගේ කළකිරීමෙන් නොඇලීමෙන්, විනාශයෙන් දැඩිකොට අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද, හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. “මහණෙනි, සංස්කාරයන්ගේ කලකිරීම පිණිස නොඇලීම පිණිස, විනාශය පිණිස, ධර්මය දේශනා කරයිද, හෙතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සංස්කාරයන්ගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස පිළිපන්නේ වෙයිද, හෙතෙම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “මහණතෙම සංස්කාරයන්ගේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් දැඩිකොට අල්වාගැනීමෙන් මිදුනේ වෙයිද, හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. “මහණෙනි, විඤ්ඤාණයේ කළකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස ධර්මය දේශනා කරයිද, හෙතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. “ඉදින් මහණතෙම විඤ්ඤාණයේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස, පිළිපන්නේ වෙයිද, හෙතෙම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “ඉදින් මහණතෙම විඤ්ඤාණයේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් දැඩිකොට අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද, හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
1. 3. 2. 5.
5. බන්ධන සූත්‍රය
117. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි දක්ෂනොවූ ආර්ය ධර්මයෙහි නොහික්මුනාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපය ආත්මය වශයෙන් දකියිද ආත්මය රූපවත්යයි හෝ දකියිද රූපය ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියිද ආත්මය රූපය කෙරෙහි පිහිටියේයයි දකියිද, මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපබන්ධනයෙන් බැඳුණාවූ ඇතුළත පිටත බන්ධනයෙන් බැඳුණාවූ එතෙර නොදක්නාවූ පරතෙර නොදක්නාවූ පුද්ගලයායයි කියනු ලැබේ. ක්ලෙශයන්ගෙන් බැඳුණෙක්ව උපදියි. බැඳුණෙක්ව මැරෙයි. බැඳුණෙක්ව මෙලොවින් පරලොව යයි.
“වේදනාව ආත්මය වශයෙන් දකියිද ආත්මය වේදනාවත්යයි හෝ දකියිද, වේදනාව ආත්මය කෙරෙහි ඇතැයි දකියිද, ආත්මය වේදනාව කෙරෙහි පිහිටියේයයි දකියිද, මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ වේදනා බන්ධනයෙන් බැඳුණාවූ ඇතුළත පිටත බැඳීමෙන් බැඳුණාවූ එතෙර නොදක්නාවූ පරතෙර නොදක්නාවූ පුද්ගලයායයි කියනු ලැබේ. කෙලෙසුන්ගෙන් බැඳුනෙක්ව උපදියි. බැඳුනෙක්ව මියයයි. බැඳුනෙක්ව මෙලොවින් පරලොවට යයි.
“සඤ්ඤාව ආත්මය වශයෙන් දකියිද ආත්මය සංඥාවත්යයි හෝ දකියිද, සංඥාව ආත්මය කෙරෙහි ඇතැයි දකියිද ආත්මය සංඥාව කෙරෙහි පිහිටියේයයි දකියිද, මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ සංඥා බන්ධනයෙන් බැඳුණාවූ ඇතුළත පිටත බැඳීමෙන් බැඳුනාවූ එතෙර නොදක්නාවූ පරතෙර නොදක්නාවූ පුද්ගලයායයි කියනු ලැබේ. කෙලෙසුන්ගෙන් බැඳුනෙක්ව උපදියි. බැඳුනෙක්ව මියයයි. බැඳුනෙක්ව මෙලොවින් පරලොවට යයි. “සංස්කාරයන් ආත්මය වශයෙන් දකියිද, ආත්මය සංස්කාරවත්යයි හෝ දකියිද, සංස්කාර ආත්මය කෙරෙහි ඇතැයි දකියිද, ආත්මය සංස්කාර කෙරෙහි පිහිටියේයයි දකියිද, මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ සංස්කාර බන්ධනයෙන් බැඳුනාවූ ඇතුළත පිටත බැඳීමෙන් බැඳුනාවූ එතෙර නොදක්නාවූ පරතෙර නොදක්නාවූ පුද්ගලයායයි කියනු ලැබේ. කෙලෙසුන්ගෙන් බැඳුනෙක්ව උපදියි. බැඳුනෙක්ව මියයයි. බැඳුනෙක්ව මෙලොවින් පරලොවට යයි.
“විඤ්ඤාණය ආත්ම වශයෙන් දකියිද, ආත්මය විඤ්ඤාණවත්යයි හෝ දකියිද, විඤ්ඤාණය ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියිද, ආත්මය විඤ්ඤාණය කෙරෙහි හෝ පිහිටියේයයි දකියිද, මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ විඤ්ඤාණ බන්ධනයෙන් බැඳුනාවූ ඇතුළත පිටත බැඳීමෙන් බැඳුනාවූ එතෙර නොදක්නාවූ පරතෙර නොදක්නාවූ පුද්ගලයායයි කියනු ලැබේ. කෙලෙසුන්ගෙන් බැඳුනක්ව උපදියි. බැඳුනක්ව මියයයි. බැඳුනක්ව මේ ලොවින් පරලොවට යයි.
“මහණෙනි, ආර්යයන් දක්නාවූ ආර්ය ධර්මයෙහි දක්ෂවූ ආර්ය ධර්මයෙහි හික්මුනාවූ සත්පුරුෂයන් දක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ රූපය ආත්මය වශයෙන් නොදකියිද, ආත්මය රූපවත්යයි හෝ නොදකියිද, රූපය ආත්මය කෙරෙහි හෝ ඇතැයි නොදකියිද, ආත්මය රූපය කෙරෙහි හෝ පිහිටියේයයි නොදකියිද, මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකතෙමේ රූප බන්ධනයෙන් නොබැඳුනාවූ ඇතුළත පිටත බන්ධනයෙන් නොබැඳුනාවූ පුද්ගලයායයි කියනු ලැබේ. එතෙර දක්නේ පරතෙර දක්නේ දුකින් මනාකොට මිදුනේයයි කියමි.
“වේදනාව ආත්ම වශයෙන් නොදකියිද, ආත්මය වේදනාවත්යයි හෝ නොදකියිද, වේදනාව ආත්මය කෙරෙහි හෝ ඇතැයි නොදකියිද, ආත්මය වේදනාව කෙරෙහි හෝ පිහිටියේයයි නොදකියිද, මහණෙනි, බොහෝ ඇසූ පිරූ තැන් ඇති මේ ආර්යශ්‍රාවකතෙමේ වේදනා බන්ධනයෙන් නොබැඳුනාවූ ඇතුළත පිටත බන්ධනයෙන් නොබැඳුනාවූ පුද්ගලයායයි කියනු ලැබේ. එතෙර දක්නාවූ පරතෙර දක්නාවූ දුකින් මනාකොට මිදුනාවූ පුද්ගලයායයි කියයි.