1. 3. 2. 3.
3. ධර්මකථික සූත්‍රය
115. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක්හි හුන්නේය.
එකත් පසෙක හුන් ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, ධර්මකථික, ධර්මකථිකයයි කියනු ලැබේ. ‘ස්වාමීනි, කෙතෙක් කරුණකින් ධර්මකථිකයෙක් වේදැයි” කියායි.
“ඉදින් මහණතෙම රූපයාගේ කළකිරීම පිණිස නො ඇලීම පිණිස, විනාශය පිණිස ධර්මය දේශනා කරයි නම් හෙතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණ තෙම රූපයාගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස පිළිපන්නේ නම් ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “ඉදින් මහණතෙම රූපයාගේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් උපාදාන වශයෙන් නොගෙන මනාකොට මිදුනේ නම් හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුව යයි කීමට සුදුසුය.
“වේදනාවගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස ධර්මය දේශනා කරයි නම්, හෙතෙම ධර්මකථික භික්ෂුව යයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම වේදනාවගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස, විනාශය පිණිස, පිළිපන්නේ නම් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “ඉදින් මහණතෙම වේදනාවගේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් උපාදාන වශයෙන් නොගෙන මනාකොට මිදුනේ වෙයි නම් හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. “සඤ්ඤාවගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස ධර්මය දේශනා කරයි නම්, හෙතෙම ධර්මකථික භික්ෂුව යයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සඤ්ඤාවගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස, පිළිපන්නේ නම් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “ඉදින් මහණතෙම සඤ්ඤාවගේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් උපාදාන වශයෙන් නොගෙන මනාකොට මිදුනේවෙයි නම් හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. “සංස්කාරයන්ගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස ධර්මය දේශනා කරයි නම්, හෙතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සංස්කාරයන්ගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස, විනාශය පිණිස පිළිපන්නේ නම් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “ඉදින් මහණතෙම සංස්කාරයන්ගේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් උපාදාන වශයෙන් නොගෙන මනා කොට මිදුනේවෙයි නම් හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. “විඤ්ඤාණයේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස ධර්මය දේශනා කරයි නම් ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම විඤ්ඤාණයාගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස පිළිපන්නේ නම් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “ඉදින් මහණතෙම විඤ්ඤාණයාගේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් උපාදාන වශයෙන් නොගෙන මනා කොට මිදුනේ වෙයි නම් හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
1. 3. 2. 4.
4. ධර්මකථික සූත්‍රය
116. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන් ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“ස්වාමීනි, ධර්මකථිකය ධර්මකථිකයයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් ධර්මකථිකයෙක් වේද, කෙතෙක් කරුණකින් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන්නේ වෙයිද? කෙතෙක් කරුණකින් මෙලොවදීම නිර්වාණයට පැමිණියෙක් වේදැයි” කියායි.
“ඉදින් මහණතෙම රූපයාගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස ධර්මය දේශනා කරයිද, හෙතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම රූපයාගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස පිළිපන්නේ වෙයිද, හෙතෙම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. මහණතෙම රූපයාගේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් දැඩිකොට අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද, හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“මහණෙනි, වේදනාවගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස ධර්මය දේශනා කරයිද, හෙතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම වේදනාවගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස පිළිපන්නේ වෙයිද, හෙතෙම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “මහණතෙම වේදනාවගේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් දැඩිකොට අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. “මහණෙනි, සංඥාවගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස, ධර්මය දේශනා කරයිද, හෙතෙම ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සංඥාවගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස පිළිපන්නේ වෙයිද, හෙතෙම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “මහණතෙම සඤ්ඤාවගේ කළකිරීමෙන් නොඇලීමෙන්, විනාශයෙන් දැඩිකොට අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද, හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. “මහණෙනි, සංස්කාරයන්ගේ කලකිරීම පිණිස නොඇලීම පිණිස, විනාශය පිණිස, ධර්මය දේශනා කරයිද, හෙතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සංස්කාරයන්ගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස පිළිපන්නේ වෙයිද, හෙතෙම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “මහණතෙම සංස්කාරයන්ගේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් දැඩිකොට අල්වාගැනීමෙන් මිදුනේ වෙයිද, හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. “මහණෙනි, විඤ්ඤාණයේ කළකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස ධර්මය දේශනා කරයිද, හෙතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. “ඉදින් මහණතෙම විඤ්ඤාණයේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස, පිළිපන්නේ වෙයිද, හෙතෙම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “ඉදින් මහණතෙම විඤ්ඤාණයේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් දැඩිකොට අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද, හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.