1. 2. 4. 8.
ඡන්න සූත්‍රය
90. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් ඉසිපතනයෙහි වෙසෙති. එකල්හි ආයුෂ්මත් ඡන්න ස්ථවිරතෙම සවස් වේලෙහි විවේකයෙන් නැගීසිටියේ යතුරගෙන විහාරයෙන් විහාරයට
එළඹ ස්ථවිර භික්ෂූන්ට මෙසේ කීයේය: “ආයුෂ්මත් ස්ථවිරවරු මට අවවාද කෙරෙත්වා, ආයුෂ්මත් ස්ථවිරවරු මට අනුශාසනය කෙරෙත්වා, යම් ප්‍රකාරයකින් මම ධර්මය දක්නෙම්ද එපරිද්දෙන් මට ආයුෂ්මත් ස්ථවිරවරු ධර්ම කථා කෙරෙත්වා”යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ඡන්නයන්ට ස්ථවිර භික්ෂූහු මෙසේ කීහ: “ඇවැත් ඡන්නයෙනි, රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ, විඤ්ඤාණය අනිත්‍යය, රූපය අනාත්මය, වේදනාව අනාත්මය, සංඥාව අනාත්මය, සංස්කාරයෝ අනාත්මයහ. විඤ්ඤාණය අනාත්මය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්මයෝ අනාත්මයහ”යි.
ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මෙබඳු සිතෙක් විය: ‘මටද මේ කාරණය මෙසේම වේ. රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ. විඤ්ඤාණය අනිත්‍යය, රූපය අනාත්මය, වේදනාව අනාත්මය, සංඥාව අනාත්මය, සංස්කාරයෝ අනාත්මයහ, විඤ්ඤාණය අනාත්මය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්මයෝ අනාත්මයහ’. එහෙත් සියලු සංස්කාරයන්ගේ සංසිඳීමවූ සියලු උපධීන්ගේ දුරලීමවූ තෘෂ්ණාවගේ ක්ෂය කිරීමවූ නොඇලීමවූ නිරෝධයවූ නිවණෙහි මාගේ සිත බැස නොගනී, නොපහදී. මනාව නොපිහිටයි, නොමිදෙයි. තැතිගැන්ම හා දෘෂ්ටි වශයෙන් ගැනීමද උපදී. එසේ නම් කුමක් මම වෙම්දැයි සිත ආපසු හැරෙයි. ධර්මය දක්නාහට එසේ නොවේමය. “කවරෙක් නු ඛො මට යම් ප්‍රකාරයකින් ධර්මය දක්නෙම්ද එපරිද්දෙන් මට ධර්මය දෙසන්නේදැ”යි.
ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයනට මෙබඳු අදහසෙක් පහළවීය: ‘මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝෝසිතාරාමයෙහි වෙසෙති. ශාස්තෲන්වහන්සේ විසින්ද මනාව වර්ණනා කරන ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරීන් විසිනුදු ගරු කරන ලද්දේය. මම යම් පරිද්දකින් ධර්මය දක්නෙම්ද, එපරිද්දෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම මට ධර්මය දෙසන්නට සමර්ථ වේමය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් කෙරෙහි මාගේ එපමණ විශ්වාසයෙක් ඇත්තේමය. එහෙයින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණෙම් නම් ඉතා යෙහෙක’.
ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරතෙම සෙනසුන් තැන්පත් කොට තබා පාත්‍ර සිවුරු ගෙන කොසඹෑ නුවර යම් තැනෙකද, ඝොසිතාරාමය යම් තැනෙක්හිද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තැනෙකද, එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ඡන්න ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීය: “ඇවැත් ආනන්ද ස්ථවිරයෙනි, මම එක් කලෙක්හි බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වසමි. ඇවැත්නි, එකල්හි වනාහි මම සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියෙමි. යතුර ගෙන වෙහෙරෙන් වෙහෙරට ගොස් ස්ථවිර භික්ෂූන්ට මෙසේ කීයෙමි: ‘ආයුෂ්මත් ස්ථවිරවරු මට අවවාද කරත්වා, ආයුෂ්මත් ස්ථවිරවරු මට අනුශාසනා කෙරෙත්වා, යම් අයුරකින් මම ධර්මය දක්නෙම්ද, ඒ අයුරෙන් මට ආයුෂ්මත් ස්ථවිරවරු ධර්ම කතා කෙරෙත්වා’යි.
ඇවැත්නි, මෙසේ කීකල්හි මට ස්ථවිරවරු මෙසේ කීහ: ‘ඇවැත් ඡන්නයෙනි, රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ. විඤ්ඤාණය අනිත්‍යය, රූපය අනාත්මය, වේදනාව අනාත්මය, සංඥාව අනාත්මය, සංස්කාරයෝ අනාත්මයහ, විඤ්ඤාණය අනාත්මය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්මයෝ අනාත්මයහ, යි’.