4. ථෙර වර්ගය
1. 2. 4. 1.
ආනන්ද සූත්‍රය
83. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ‘ඇවැත්නි’ කියා භික්ෂූහු ඇමතුවේය. ‘ඇවැත්නි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයනට උත්තර දුන්හ. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භික්ෂූන්ට මෙසේ වදාළ සේක: “ඇවැත්නි, මන්තාණි නම් බැමිණියගේ පුත්‍රවූ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයෝ නවකවූ ම අපට බොහෝ උපකාර ඇත්තාහුවෙති. ඔහු අපට මේ අවවාදයෙන් අවවාද කෙරෙති:
“ඇවැත් ආනන්දයෙනි, (යමක්) නිසා ‘මම වෙමි’ යන හැඟීම (තණ්හා, මාන, දෘෂ්ටි යන ප්‍රපඤ්ච තුන) ඇති වෙයි, නොනිසා ඇති නොවෙයි. කුමක් නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති වේද, නොනිසා ඇති නොවේද? රූපය නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයි, නොනිසා ඇති නොවෙයි. වේදනාව නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයි, නොනිසා ඇති නොවෙයි. සංඥාව නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයි, නොනිසා ඇති නොවෙයි. සංස්කාර නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයි, නොනිසා ඇති නොවෙයි. විඥානය නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයි, නොනිසා ඇති නොවෙයි. ඇවැත් ආනන්දයෙනි, යම් සේ තරුණ වූ, යොවුන් වූ, සැරසීමට කැමති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පිරිසිදු වූ පැහැපත් වූ කැඩපතක හෝ පැහැදිලි දිය බඳුනක හෝ තම මුහුණේ පිළිබිඹුව බලන්නේ (ඒවා) නිසා දකින්නේ ද, නොනිසා නොදකින්නේ ද, ඇවැත් ආනන්දයෙනි, එපරිද්දෙන්ම රූපය නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයි, නොනිසා ඇති නොවෙයි. වේදනාව නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයි, නොනිසා ඇති නොවෙයි. සංඥාව නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයි, නොනිසා ඇති නොවෙයි. සංස්කාර නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයි, නොනිසා ඇති නොවෙයි. විඥානය නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයි, නොනිසා ඇති නොවෙයි.
“ඇවැත් ආනන්දයෙනි, ඒ කුමක් යැයි හඟින්නෙහිද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” “ඇවැත්නි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය වේ නම්, ඒ දුක් හෝ වේද, සැප හෝ වේද?” “ඇවැත්නි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාව ඇත්තේ වේද, ඒ රූපය ‘මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි’ මනාව බලන්නට සුදුසු වේද?” “ඇවැත්නි, එය සුදුසු නොවේමය.”
“වේදනාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” “ඇවැත්නි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ඇවැත්නි, දුකය.” “යමක් අනිත්‍ය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාව ඇත්තේ වේද, ඒ වේදනාව ‘මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි’ මනාව දක්නට සුදුසු වේද?” “ඇවැත්නි, සුදුසු නොවේමය.” “සංඥාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” “ඇවැත්නි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ඇවැත්නි, දුකය.” “යමක් අනිත්‍ය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාව ඇත්තේ වේද, ඒ සංඥාව ‘මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි’ මනාව දක්නට සුදුසු වේද?” “ඇවැත්නි, සුදුසු නොවේමය.” “සංස්කාරයෝ නිත්‍ය හෝ වෙත්ද, අනිත්‍ය හෝ වෙත්ද?” “ඇවැත්නි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ඇවැත්නි, දුකය.” “යමක් අනිත්‍ය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාව ඇත්තේ වේද, ඒ සංස්කාර ‘මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි’ මනාව දක්නට සුදුසු වේද?” “ඇවැත්නි, සුදුසු නොවේමය.” “විඥානය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” “ඇවැත්නි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ඇවැත්නි, දුකය.” “යමක් අනිත්‍ය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාව ඇත්තේ වේද, ඒ විඥානය ‘මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි’ මනාව දක්නට සුදුසු වේද?” “ඇවැත්නි, සුදුසු නොවේමය.”
“ඇවැත් ආනන්ද ස්ථවිරයෙනි, එහෙයින් මේ ලෝකයෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි රූපයෙක් වේද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ යම් රූපයක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් වේද, ඒ සියලු රූපය මේ රූපය මාගේ නොවේය. මේ මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේ’යයි මේ රූපය මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි. “තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමාන වූද යම්කිසි වේදනාවක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මේ වේදනාව මාගේ නොවේය, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ මේ වේදනාව සම්‍යක් ප්‍රඥාවෙන් තත්වූ පරිද්දෙන් දත යුතුය. “තමා කෙරෙහි පවත්නාවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත වූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංඥාවක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මේ සංඥාව මාගේ නොවේය, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේයයි මෙසේ මේ සංඥාව තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය. “තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි සංස්කාරයෝ වෙද්ද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් සංස්කාරයෝ වෙද්ද, ඒ සියලු සංස්කාර සමූහය ‘මගේ නොවේය, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ මේ සංස්කාරය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය. “තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි විඤ්ඤාණයෙක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් විඤ්ඤාණයෙක් වේද, ඒ සියලු විඤ්ඤාණය ‘මේ විඥානය මගේ නොවේ, මේ (මම) නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ” යයි මෙසේ මේ විඤ්ඤාණය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“ඇවැත් ආනන්ද ස්ථවිරයෙනි, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇති ආර්යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි. කලකිරුණේ නො ඇලෙයි, නොඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදුනේවෙයි. එවිට (කෙලෙසුන්ගෙන්) මිදුනෙමියි (ප්රත්යවෙක්ෂා) ඥානය ඇතිවෙයි.
“ඉපදීම ක්ෂයවූවාය, (මාර්ග) බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. (සතර අරිමගින් කටයුතු) කෘත්‍යය කොට නිමවන ලද්දේය. මේ අර්හත්ඵලය පිණිස අනිකක් නැතැයි කියායි, ඇවැත්නි, මන්තානියගේ පුත්වූ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිර තෙමේ අලුත්වූම අපට මේ අවවාදයෙන් අවවාද කෙරෙයි. මන්තානියගේ පුත්වූ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන්ගේ මේ ධර්මදේශනාව අසා මා විසින් චතුස්සත්‍ය ධර්මය නුවණින් අවබෝධ කරන ලද්දේය.”
1. 2. 4. 2.
තිස්ස සූත්‍රය
84. මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේගේ නැන්දනියගේ පුත්‍රවූ ආයුෂ්මත් තිස්ස ස්ථවිර තෙම, බොහෝ භික්ෂූන්ට මෙසේ සැලකෙරෙයි- “ඇවැත්නි, කිම? මාගේ කය හටගත් බර බව ඇත්තක් සේ (අකර්මණ්‍ය වේ) මට දිශාවෝද ප්‍රකට නොවෙති. මට (පර්‍ය්‍යාප්ති) ධර්මයෝද නොවැටහෙත්. ථින මිද්ධය (චිත්ත චෛතසිකයන්ගේ අකර්මණ්‍ය බව) ද, මාගේ සිත මැඩගෙන සිටී (සස්නෙහි) ඇලුම් නැත්තේම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙමි. ධර්මයන්හි මට සැකයද උපදනේය.”
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ බුදුන් වැඳ එකත්පසෙක හුන්හ. එක් පැත්තෙක හුන්නාවූම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ:- “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත්වූ ආයුෂ්මත් තිස්ස ස්ථවිර තෙම බොහෝ භික්ෂූන්ට මෙසේ කියයි:- ‘කිම? ඇවැත්නි, මාගේ ශරීරය හටගත් බර බවක් මෙන් (අකර්මණ්‍ය වේ.) දිශාවෝද ප්රකටව නොපැණෙත්, දහමද මට නොවැටහෙත්. ථිනමිද්ධයද, මාගේ සිත යටපත් කොට සිටී, (සස්නෙහි) ඇලුම් නැත්තේම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙමි. ධර්මයන්හි මට සැකයක්ද උපදනේය?”