1. 2. 4. 7.
ඛෙමක සූත්රය
89. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු කොසොඹෑ නුවර සමීපයෙහිවූ ඝොසිතාරාමයෙහි වෙසෙති. එකල්හි වනාහි ආයුෂ්මත් ඛෙමක ස්ථවිරතෙම උපන් රොග ඇත්තේ, දුකට පත්වූයේ, දැඩි ගිලන් බැව් ඇත්තේ, බදරිකාරාමයෙහි වාසය කරයි.
ඉක්බිති ස්ථවිර භික්ෂූහු සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටියාහු, ආයුෂ්මත් දාසක භික්ෂුව කැඳවූහ. “ඇවැත් දාසක, එනු මැනව. ඔබ ඛෙමක භික්ෂුව යම් තැනකද, එතැනට පැමිණෙව. පැමිණ, ඛෙමක භික්ෂුවට මෙසේ කියව. ‘ඇවත් ඛෙමක, ස්ථවිර භික්ෂූහු ඔබට මෙසේ කීහු:-‘කිම? ඇවැත්නි, ඔබට ඉවසිය හැකිද? කිම? යැපිය හැකිද? කිම? දුක්ඛ වේදනාවෝ අඩුවෙත්ද? වැඩි වෙත්ද? ඒ දුඃඛ වේදනාවන්ගේ අඩුවීම පෙනේද? වැඩිවීම නොපෙනේද? (යනුයි.)
“එසේය, ඇවැත්ති,’ කියා ආයුෂ්මත් දාසක භික්ෂුතෙම ස්ථවිර භික්ෂූන්ට උත්තරදී ආයුෂ්මත් ඛෙමක භික්ෂුතෙම යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ඛෙමක භික්ෂුවට මෙය කීයේය. ‘ඇවැත් ඛෙමක, ස්ථවිර භික්ෂූහු ඔබට මෙසේ කීහ. ‘ඇවැත්නි, කිම? ඔබට ඉවසාගත හැකිද? කිම? ඉරියවු යැපිය හැකිද? කිම? දුඃඛ වේදනාවෝ අඩුවෙද්ද? වැඩි නොවෙද්ද, මේ දුඃඛ වේදනාවන්ගේ අඩුවීම පෙනේද? වැඩිවීම නොපෙනේදැ?”යි කියායි.
“ඇවැත්නි, මට ඉවසාගත නොහැකිය. ඉරියවු යැපිය නොහේ. මාගේ දැඩි දුඃඛ වේදනාවෝ වැඩි වෙති. අඩු නොවෙති. මේ දුඃඛ වේදනාවන්ගේ වැඩිවීම පෙනෙයි. අඩුවීම නොපෙනේයයි” (කීය.)
ඉක්බිති ආයුෂ්මත් දාසක භික්ෂුතෙම ස්ථවිර භික්ෂූහු යම් තැනෙක (වෙසෙද්ද,) එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන්ට මේ කරුණ දැන්වීය:- “ඇවැත්නි, ඛෙමක භික්ෂුතෙම මෙසේ කියයි:- ‘ඇවැත්නි, මට ඉවසාගත නොහේ. (ඉරියවු) යැපිය නොහේ. මාගේ දැඩි දුඃඛ වේදනාවෝ වැඩි වෙති. අඩු නොවෙති. ඒ දුඃඛ වේදනාවන්ගේ වැඩිවීම පෙනේ. අඩුවීම නොපෙනේය (යනුයි.)
“ඇවැත් දාසක, එනු මැනවි. ඔබ ඛෙමක භික්ෂුතෙම යම්තැනක වෙසේද, එතැනට එළඹෙව. එළඹ, ඛෙමක භික්ෂුවට මෙසේ කියව:- ඇවැත්නි, ස්ථවිර භික්ෂූහු තොපට මෙසේ කීහු:- “ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් මේ පඤ්ච-උපාදානස්කන්ධයෝ වදාරණ ලද්දාහුය. ඔහු කවරහුද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය (යන මොහුය.) ආයුෂ්මත් ඛෙමක ස්ථවිරතෙමේ මේ පඤ්ච-උපාදානස්කන්ධයන්හි මමයයි කියා හෝ මගේයයි කියා හෝ කිසිවක් දකීදැ?”යි (කියායි.)
“එසේය. ඇවැත්නි’යි ආයුෂ්මත් දාසක භික්ෂුතෙම ස්ථවිර භික්ෂූන්ට උත්තරදී ආයුෂ්මත් ඛෙමක භික්ෂුව යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ඛෙමක භික්ෂුවට මෙය කීය:- “ඇවැත් ඛෙමක, ස්ථවිර භික්ෂූහු මෙසේ කීහ:- “ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් මේ පඤ්ච-උපාදානස්කන්ධයෝ වදාරණ ලදහ. ඔහු කවරහුද? රූපොපාදානස්කන්ධය, වෙදනොපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපාදානස්කන්ධය, විඤ්ඤාණොපාදානස්කන්ධය (යන පසය.) ආයුෂ්මත් ඛෙමක භික්ෂු තෙමේ මේ පඤ්ච-උපාදානස්කන්ධයන්හි මමයයි කියා හෝ මගේයයි කියා හෝ කිසිවක් දකීද?” (යනුයි.)
“ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් මේ පඤ්චඋපාදානස්කන්ධයෝ දෙසන ලද්දාහුය. ඔහු කවරහුද? රූපොපාදානස්කන්ධය; වෙදනොපාදානස්කන්ධය; සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපාදානස්කන්ධය, විඥානොපාදානස්කන්ධය; (යන පසය) ඇවැත්නි, මම මේ පඤ්චොපාදානස්කන්ධයන්හි වනාහි මමයයි කියා හෝ මගේයයි කියා හෝ කිසිවක් නොමදකිමි’යි (කීය.)
ඉක්බිති ආයුෂ්මත් දාසක භික්ෂුතෙම ස්ථවිර භික්ෂූහු යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, ස්ථවිර භික්ෂූන්ට මෙය දැන්විය. ‘ඇවැත්නි, ඛෙමක භික්ෂුතෙම මෙසේ කීයේය:-‘ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් මේ පඤ්චොපාදානස්කන්ධයෝ වදාරණ ලද්දාහ. ඔහු කවරහුද? රූපොපාදානස්කන්ධය, වෙදනොපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපාදානස්කන්ධය, විඥානොපාදානස්කන්ධය (යන පසය.) ඇවැත්නි, මේ පඤ්චොපාදානස්කන්ධයන්හි වනාහි මමයයි කියා හෝ මගේ යයි කියා හෝ කිසිවක් නොදකිමි’ (යනුයි.)
“ඇවැත් දාසක, එනු මැනවි. ඔබ ඛෙමක භික්ෂුතෙම යම් තැනෙකද, එතැනට පැමිණෙව. පැමිණ, ඛෙමක භික්ෂුවට මෙසේ කියව:- “ඇවැත් ඛෙමක; ස්ථවිර භික්ෂූහු ඔබට මෙසේ කීහ:-“ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් මේ පඤ්චොපාදානස්කන්ධයෝ වදාරණ ලද්දාහුය. ඔහු කවරහුද? රූපොපාදානස්කන්ධය, වෙදනොපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපාදානස්කන්ධය, විඥානොපාදානස්කන්ධය (යන පසය.) ආයුෂ්මත් ඛෙමක භික්ෂුතෙම ඉදින් මේ පඤ්චොපාදානස්කන්ධයන්හි මමයයි කියා හෝ මගේයයි කියා හෝ කිසිවක් නොදක්නේල, එසේවී නම් ආයුෂ්මත් ඛෙමක භික්ෂුතෙම අර්හත්වූ ක්ෂීණාශ්රවයෙකැයි” කියාවේ.