1. 2. 4. 4.
අනුරාධ සූත්‍රය
86. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර සමීපයෙහිවූ මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් අනුරාධ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි ආරන්‍ය කුටියක වෙසෙයි. ඉක්බිති බොහෝ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ආයුෂ්මත් අනුරාධ භික්ෂුව යම්තැනෙකද, එතැනට පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් අනුරාධ භික්ෂුව සමග සතුටුවූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාවකොට නිමවා එක්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ අන්‍යතීර්ථකයෝ ආයුෂ්මත් අනුරාධ භික්ෂුවට මෙය කීහ.
“ඇවැත් අනුරාධයෙනි, යමෙක් තථාගතවෙයිද, උතුම් පුරුෂයා වෙයිද, පරම පුරුෂයා වෙයිද, උතුම් පැමිණීමට පැමිණි තැනැත්තෙක් වෙයිද, ඒ තොපගේ ශාස්තෲවූ තථාගත තෙමේ සත්ත්වයා පිළිබඳ මේ කරුණු සතර පනවයි. “සත්වතෙම මරණින් මත්තෙහි වේයයිද, සත්වතෙම මරණින් මත්තෙහි නොවේයයිද, සත්වතෙම මරණින් මත්තෙහි වේයයිද නොමවේයයිද, සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි නොවන්නේද, නොවේයයිද යන සතරය.”
මෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරාධ භික්ෂුතෙම ඒ අන්‍යතීර්ථකයන්ට මෙසේ කීය. “ඇවැත්නි, යමෙක් තථාගතවූයේද, උතුම් පුරුෂයා වූයේද, පරම පුරුෂයා වූයේද, උතුම් පැමිණීමට පැමිණියේ වේද, ඒ ශාස්තෲවූ තථාගතයන් මරණින් මත්තෙහි සත්වතෙම වේයයි කියා හෝ සත්වතෙම මරණින් මත්තෙහි නොවේයයි කියා හෝ සත්වතෙම මරණින් මත්තෙහි වෙයි, නොම වෙයි කියා හෝ සත්වතෙම මරණින් මත්තෙහි නොම වෙයි, නොවන්නේ නොවෙයි කියා හෝ (යන) මේ සතර කරුණෙන් අන් ආකාරයක්ම පණවන සේක.
මෙසේ කී කල්හි ඒ අන්‍ය තීර්ථකයෝ ආයුෂ්මත් අනුරාධ භික්ෂුවට ‘මේ භික්ෂුතෙම අලුත පැවිදිවූ නවක භික්ෂුවක් වන්නේය. නොහොත් අඥානවූ අව්‍යක්තවූ ස්ථවිරයෙක් වන්නේයයි” කීහ.
ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ආයුෂ්මත් අනුරාධ භික්ෂුවට නවක වාදයෙන්ද, බාල වාදයෙන්ද, ගරහා හුනස්නෙන් නැගිට ගියාහුය. ඉක්බිති ඒ අන්‍ය තීර්ථකයන් ගිය නොබෝ කල්හි ආයුෂ්මත් අනුරාධ භික්ෂුවට මෙබඳු අදහසෙක් විය.
ඉදින් වනාහි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මත්තෙහි මාගෙන් ප්‍රශ්න අසන්නාහුනම් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට කෙසේ විසඳන්නාවූ මම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්ද කියන්නෙක් වෙම්ද? භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන් අභිබවා නොකියන්නෙක් වෙම්ද, ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයන් ප්‍රකාශ කරන්නෙම්ද, කරුණු සහිතවූ කිසියම් වාදයක් ගැරහිය යුතු කරුණකට නොම පැමිණෙන්නේද කියායි.
ඉක්බිති ආයුෂ්මත් අනුරාධ භික්ෂුතෙමෙ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් අනුරාධ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු කීයේය.
“ස්වාමීනි, මේ මහවෙනෙහි භාග්‍යවතුන් වහන්සේට සමීපයෙහි වන කුටියක වාසය කරමි. ස්වාමීනි එකල්හි බොහෝ අන්‍ය තීර්ථකයෝ මම යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහ. පැමිණ මා සමග සතුටුවූහ. සතුටුවිය යුතු සිහි කටයුතු කථාවකොට නිමවා එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මට මේ කරුණ කීහ.
‘ඇවැත් අනුරාධයෙනි, යමෙක් තථාගතවූ උත්තම පුරුෂවූ පරම පුරුෂවූ උතුම් පැමිණීමට පැමිණියාවූ යම් ඒ තථාගතවරයෙක්වේද, ඒ (තොපගේ) තථාගතයන් වහන්සේ සත්වයා පිළිබඳ මේ කරුණු සතර පනවයි. ‘සත්වතෙම මරණින් මත්තෙහි වෙයි. සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. සත්වතෙම මරණින් මත්තෙහි වන්නේත් වෙයි. නොවන්නේත් වෙයි. සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේත් නොවෙයි’ (කියායි.)
“ස්වාමීනි, මෙසේ කියන ලද්දාවූ මම ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙය කීමි. ‘ඇවැත්නි, යමෙක් තථාගතවූ උත්තම පුරුෂවූ, පරම පුරුෂවූ උතුම් තැනට පැමිණි යම් ඒ තථාගත කෙනෙක් වෙද්ද ඒ තථාගතයන් වහන්සේ සත්වයා මේ සතර කරුණෙන් නොපමුණවත්. ‘සත්වතෙම මරණින් මත්තෙහි වෙයි. සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. සත්වතෙම මරණින් මත්තෙහි වන්නේත් වෙයි, නොමවන්නේත් වෙයි, සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි, නොවන්නේත් නොවෙයි’ කියායි.
“ස්වාමීනි, මෙසේ කී කල්හි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මට මෙසේ කීහ. ‘මේ මහණතෙම අලුත පැවිදිවූ නවකයෙක් වන්නේය. නැතහොත් අඥානවූ අව්‍යක්තයෙක් වන්නේය’ කියායි.
ස්වාමීනි, ඉක්බිති ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මට නවකවාදයෙන්ද, බාල වාදයෙන්ද, නින්දාකොට හුනස්නෙන් නැගිට බැහැර ගියාහුය. “ස්වාමීනි, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් ගිය කල්හි ඒ මට මෙබඳු අදහසෙක් විය.