1. 2. 4. 5.
වක්කලි සූත්රය
87. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් වක්කලි ස්ථවිරතෙමේ හටගත් ආබාධ ඇතිව දුකට පත්ව බලවත්සේ ගිලන්ව කුම්භකාර ශාලාවක වාසය කරයි.
ඉක්බිති ආයුෂ්මත් වක්කලි ස්ථවිරතෙමේ උපස්ථායකයන් කැඳවීය. “ඇවැත්නි, (මෙහි) එව්, තෙපි භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණෙවු, පැමිණ මාගේ වචනයෙන් ‘ස්වාමීනි, වක්කලි භික්ෂුතෙම හටගත් ආබාධ ඇත්තේය, දුකට පත්වූයේය, දැඩි ගිලන් බැව් ඇත්තේය. හෙතෙම භාග්යවතුන් වහන්සේගේ පාදයන් වඳී’යයි භාග්යවතුන් වහන්සේගේ පාදයන් වඳිවු, මෙසේත් කියවු:- ‘ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ වක්කලි භික්ෂුව යම්තැනෙකද, එතැනට අනුකම්පා පිණිස වැඩියහොත් මැනව” කියායි.
“එසේය ඇවැත්නි”යි (කියා) ආයුෂ්මත් වක්කලි තෙරුන්ට උත්තරදී භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියාහ. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය කීහ:- “ස්වාමීනි, වක්කලි භික්ෂුතෙම හටගත් රෝග ඇත්තේය, දුකට පැමිණියේය, දැඩි ගිලන්බැව් ඇත්තේය, හෙතෙම භාග්යවතුන් වහන්සේගේ පාදයන්වඳී. ‘ස්වාමීනි, යාඥාකරමි, භාග්යවතුන් වහන්සේ වක්කලි භික්ෂුතෙම යම් තැනෙකද එතැනට අනුකම්පා පිණිස වඩිනසේක්වා.” භාග්යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළසේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ හැඳ පොරවා වක්කලි භික්ෂුතෙම යම් තැනෙකද, එතැනට වැඩිසේක. ආයුෂ්මත් වක්කලි තෙර දුරදීම වඩින්නාවූ බුදුරජාණන් වහන්සේ දැක, ගෞරව පිණිස ඇඳෙන් නැඟිටීමට උත්සාහ කෙළේය.
එකල්හි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලි ස්ථවිරයන්ට ‘වක්කලිය, කම්නැත, තෙපි ඇඳෙන් නො නැගිටිව් මේ පනවනලද අසුන් ඇත්තාහ. මම එහි හිඳිමියි.” වදාළසේක. “භාග්යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක, භාග්යවතුන් වහන්සේ වැඩහිඳ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට මෙය වදාළසේක:-
“කිම? වක්කලිය, තට දුක ඉවසිය හැකිද? ඉරියව් යැපිය හැකිද? කිම? දුඃඛ වේදනාවෝ නවතිද්ද, වැඩීමට නොපැමිණෙද්ද, දුක් වේදනාවන්ගේ නැවතීම පෙනේද, දියුණුවීම නොපැනේද?”
“ස්වාමීනි, මට ඉවසාගත නොහැකිය, ඉරියව් යැපිය නොහැකිය, මගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති, නොනවතිත්, මේ දුක් වේදනාවන්ගේ දියුණුව පෙනෙයි, නැවැත්ම නොපෙනේ.”
“කිම? වක්කලිය, තට කිසි පසුතැවීමක් නොවේද, කිසි විපිළිසර බවක් නොවේද? ස්වාමීනි, මට ඒකාන්තයෙන් සුලුනොවූ පසුතැවීමක්, සුලුනොවූ විපිළිසර බවක් ඇත්තේය.”
“කිම? වක්කලිය, තට තෙමේ ශීලයෙන් චෝදනා නොකෙරේද?” - “ස්වාමීනි, මට තෙමේ ශීලවශයෙන් චෝදනා නොකෙරෙයි.”
“වක්කලිය, ඉදින් තට තෙමේ ශීලයෙන් චෝදනා නොකෙරේ නම්, එවිට තට කිනම් පසුතැවීමක්ද, කිනම් විපිළිසර බවක්ද?” “ස්වාමීනි, මම බොහෝ කලෙක පටන් භාග්යවතුන් වහන්සේ දක්නා පිණිස යනු කැමැත්තෙමි. එහෙත් භාග්යවතුන් වන්සේ දක්නට යාමට තරම්වූ ශක්තියක් නැත.
“වක්කලිය, කම්නැත, මේ කුණුකය දකිනු ලැබීමෙන් කිනම් ප්රයෝජනයක්ද? වක්කලිය, යමෙක් වනාහි ධර්මය දකීද, හෙතෙම මා දක්නේය, යමෙක් මා දකීද, හෙතෙම ධර්මය දක්නේය. වක්කලිය, ධර්මය දකින තැනැත්තේ වනාහි මා දකියි. මා දකින තැනැත්තේ ධර්මය දකියි. ‘වක්කලිය, ඒ කිමැයි සිතන්නෙහිද? රූපය නිත්ය හෝ වේද, අනිත්ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්යය.’
“යමක් වනාහි අනිත්යයද, ඒ දුක හෝ සැප හෝ වේද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්ය වේද, දුක් වේද, පෙරළෙන ස්වාභාව ඇත්තේ වේද, ‘එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්ම’යයි එය දක්නට සුදුසුද?” - “ස්වාමීනි, එය දක්නට සුදුසු නොවේමය.”
‘වේදනාව නිත්ය හෝ වේද, අනිත්ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්යය.’ ‘සංඥාව නිත්ය හෝ වේද, අනිත්ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්යය.’ ‘සංස්කාරයෝ නිත්ය හෝ වේද, අනිත්ය හෝ වේද?’ -“ස්වාමීනි, අනිත්යය.’ ‘විඤ්ඤාණය නිත්ය හෝ වේද, අනිත්ය හෝ වේද?’ -‘ස්වාමීනි, අනිත්යය.’ යමක් වනාහි අනිත්යයද, ඒ දුක හෝ සැප හෝ වේද? - ස්වාමීනි, දුකය. යමක් වනාහි අනිත්ය වේද, දුක් වේද, පෙරළෙන ස්වාභාව ඇත්තේ වේද, ‘එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්ම’යයි එය දක්නට සුදුසුද? - ස්වාමීනි, එය දක්නට සුදුසු නොවේමය.