1. 2. 4. 3.
3. යමක සූත්රය
85. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම්වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවෙසෙති.
එකල්හි වනාහි යමක නම් මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේවෙයි: “යම්සේ ක්ෂය කරනලද ක්ලේෂයන් ඇති (රහත්) මහණ තෙම ශරීරය බිඳීමෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මත්තෙහි නොවන්නේද, එසේ භාග්යවතුන් වහන්සේ විසින් දෙසනලද ධර්මය දනිමි. (කියායි.)
“යම්සේ ක්ෂීණාශ්රව භික්ෂුතෙම ශරීරය බිඳීමෙන් සිඳෙන්නේය, විනාශවන්නේය, මරණින් මතු නොවන්නේ” යයි බුදුන් විසින් දෙසනලද ධර්මය එසේ දනිමි’යි යන මෙබඳු ලාමක දෘෂ්ටියක් යමක නම් භික්ෂුවට උපන්නේය”යි බොහෝ භික්ෂූහු ඇසුවාහුමය.
ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් යමක භික්ෂුතෙම යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් යමක භික්ෂුව සමග සතුටුවූහ. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පැත්තක හුන්හ. එක්පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් යමක භික්ෂුවට මේ කරුණ කීහ: “ඇවැත් යමකයෙනි, යම් ප්රකාරයකින් රහත් මහණ තෙම සිරුර බිඳීමෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මතු නොවන්නේද, ඒ ප්රකාරයෙන් බුදුන් විසින් දෙසනලද ධර්මය (මම) දනිමි”යි තොපට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ සැබෑදැ”යි (ඇසූහ.)
“ඇවැත්නි, යම් ප්රකාරයකින් රහත් මහණතෙම ශරීර භෙදයෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මතු නොවන්නේද, එසේ බුදුන් විසින් දෙසූ ධර්මය (මම) දනිමියි” කීය.
“ඇවැත් යමකයෙනි, එසේ නොකියව, භාග්යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකරව, භාග්යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා කිරීම නොමැනවි. භාග්යවතුන් වහන්සේ “රහත් මහණතෙම ශරීරය බිඳීමෙන් සිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මත්තෙහි නො වන්නේය”යි මෙසේ නොවදාරණසේකැයි කීහ.
මෙසේද ඒ භික්ෂූන් විසින් කියනු ලබන්නාවූ ආයුෂ්මත් යමක භික්ෂුතෙම “ක්ෂීණාශ්රව භික්ෂුතෙම කය බිඳීමෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මත්තෙහි නොවන්නේද, ඒ ප්රකාරයෙන් බුදුන් විසින් දෙසනලද ධර්මය (මම) දනිමි” යි යන ලාමක දෘෂ්ටිය එසේම ස්ථිරවශයෙන්, දෘෂ්ටි වශයෙන් ගෙන පිහිටා ව්යවහාර කෙරෙයි.
යම්හෙයකින් ඒ භික්ෂූහු ආයුෂ්මත් යමක භික්ෂුව ඒ ලාමක දෘෂ්ටියෙන් වළක්වන්නට නොහැකිවූවාහුද (එහෙයින්) ඊට අනතුරුව ඒ භික්ෂූහු හුනස්නෙන් නැගී ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය, පැමිණ ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයනට මේ කරුණ දැක්වූහ: “ඇවැත් ශාරීපුත්ර ස්ථවිරයෙනි, රහත් මහණතෙම සිරුර බිඳීමෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මතු නොවන්නේද, ඒ ප්රකාරයෙන් බුදුන් විසින් දෙසූ ධර්මය (මම) දනිමි”යි යමක නම් මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේය. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරතෙම “යමක භික්ෂුතෙම යම් තැනෙකද, එතැනට අනුකම්පා උපදවා වඩින්නේ නම් මැනව”යි කීවාහුය. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් (එය) ඉවසූහ.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිර තෙම සවස් වේලෙහි පලසමවතින් නැගීසිටියේ ආයුෂ්මත් යමක භික්ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් යමක භික්ෂුව සමග සතුටු විය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා පසකින් හිඳගත්හ. පසක හිඳගත්තාවූ ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරතෙම ආයුෂ්මත් යමක (භික්ෂුවට) මෙකරුණ දැන්වීය: “ඇවැත් යමකයෙනි, ‘ක්ෂීණාශ්රව භික්ෂුතෙම කය බිඳීමෙන් සිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මත්තෙහි නොවේයයි බුදුන් විසින් එසේ වදාළ ධර්මය (මම) දනිමි”යි යුෂ්මතුන්ට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේල, එය සැබෑදැයි” ඇසූහ.
“ඇවැත්නි, මම ක්ෂීණාශ්රව භික්ෂුතෙම කය බිඳීමෙන් සිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මතු නොවේයි බුදුන් විසින් මෙසේ දෙසනලද ධර්මය (මම) දනිමි”යි කීය.