1. 2. 4. 2.
තිස්ස සූත්රය
84. මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එසමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේගේ නැන්දනියගේ පුත්රවූ ආයුෂ්මත් තිස්ස ස්ථවිර තෙම, බොහෝ භික්ෂූන්ට මෙසේ සැලකෙරෙයි- “ඇවැත්නි, කිම? මාගේ කය හටගත් බර බව ඇත්තක් සේ (අකර්මණ්ය වේ) මට දිශාවෝද ප්රකට නොවෙති. මට (පර්ය්යාප්ති) ධර්මයෝද නොවැටහෙත්. ථින මිද්ධය (චිත්ත චෛතසිකයන්ගේ අකර්මණ්ය බව) ද, මාගේ සිත මැඩගෙන සිටී (සස්නෙහි) ඇලුම් නැත්තේම බ්රහ්මචරියාවෙහි හැසිරෙමි. ධර්මයන්හි මට සැකයද උපදනේය.”
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ බුදුන් වැඳ එකත්පසෙක හුන්හ. එක් පැත්තෙක හුන්නාවූම ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ:- “ස්වාමීනි! භාග්යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත්වූ ආයුෂ්මත් තිස්ස ස්ථවිර තෙම බොහෝ භික්ෂූන්ට මෙසේ කියයි:- ‘කිම? ඇවැත්නි, මාගේ ශරීරය හටගත් බර බවක් මෙන් (අකර්මණ්ය වේ.) දිශාවෝද ප්රකටව නොපැණෙත්, දහමද මට නොවැටහෙත්. ථිනමිද්ධයද, මාගේ සිත යටපත් කොට සිටී, (සස්නෙහි) ඇලුම් නැත්තේම බ්රහ්මචරියාවෙහි හැසිරෙමි. ධර්මයන්හි මට සැකයක්ද උපදනේය?”
එකල්හි භාග්යවතුන් වහන්සේ, එක්තරා මහණෙකු ඇමතූසේක:- “එව, මහණ, මාගේ වචනයෙන් ‘ඇවත් තිස්ස ස්ථවිරයෙනි, ශාස්තෲන් වහන්සේ තොප කැඳවන සේකැ’යි තිස්ස භික්ෂුව කැඳවාගෙන එව,” “එසේය ස්වාමීනි”යි ඒ මහණතෙම භාග්යවතුන් වහන්සේට උත්තරදී, ආයුෂ්මත් තිස්ස ස්ථවිරතෙම යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් තිස්සයන්ට මෙය සැළකෙළේය:-“ඇවත් තිස්ස ස්ථවිරයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැයි “ඇවත, එසේයයි’ ආයුෂ්මත් තිස්ස තෙර ඒ භික්ෂුවට උත්තරදී භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූම ආයුෂ්මත් තිස්ස තෙරුන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:-
“තිස්සය, තෝ ‘ඇවැත්නි, මාගේ කය බර වූවාක් මෙන් කර්ම නොවෙයි. දිසාවන්ද මට ප්රකටව නොපැණෙති. දහම්ද මට නොවැටහෙත්. ථිනමිද්ධයද මා සිත මැඩගෙන සිටී. නො ඇලුනේම බ්රහ්මචරියාවෙහි හැසිරෙමි, ධර්මයෙහි මට සැකද වේ” යයි බොහෝ භික්ෂූන්ට මෙසේ කීයෙහි සැබෑද?” ‘එසේය ස්වාමීනි” (කීය.)
“තිස්සය, රූපයෙහි පහනොවූ රාගය ඇත්තාවූ, පහනොවූ ඡන්දය ඇත්තාවූ, පහනොවූ ප්රෙමය ඇත්තාවූ, පහනොවූ පිපාසය ඇත්තාවූ, පහනොවූ හාත්පස දැවිලි ඇත්තාවූ, පහනොවූ තෘෂ්ණාව ඇත්තාහට ඒ රූපයාගේ පෙරැළීමවූ අනික් ප්රකාර ස්වභාවයකින් ශෝකය වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?”- “එසේය, ස්වාමීනි”යි “සාධු සාධු තිස්සය, තිස්සය, මේ කරුණ මෙසේම වේ.
“රූපයෙහි පහනොවූ රාගය ඇත්තාහට යම්සේද, එමෙන් වේදනාවෙහි පහනොවූ රාගය ඇති, පහනොවූ ඡන්දය ඇති, පහනොවූ පෙම් ඇති, පහනොවූ පිපාසය ඇති, පහනොවූ හාත්පස දැවිලි ඇති, පහනොවූ තෘෂ්ණාව ඇත්තාහට ඒ වේදනාවගේ පෙරැළීමවූ අන්යාකාර ස්වභාවයකින් ශෝකය, වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?”-“එසේය, ස්වාමීනි” කීයේය. “තිස්සය, මැනවි! මැනවි!! තිස්සය, මෙය මෙසේම වන්නේය.
“වේදනාවෙහි පහනොවූ රාගය ඇත්තාහට යම්සේද, එසේ සංඥාවෙහි පහනොවූ රාගය ඇති, පහනොවූ කැමැත්ත ඇති, පහනොවූ පෙම් ඇති, පහනොවූ පිපාසය ඇති, පහනොවූ හාත්පස දැවිල්ල ඇති, පහනොවූ තෘෂ්ණාව ඇත්තාහට, ඒ සංඥාවගේ පෙරැළීමවූ අන්යාකාර ස්වාභාවයෙන් ශෝකය, වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?” - “එසේය ස්වාමීනි’යි (කීය.) “තිස්සය, සාදු! සාදු!! තිස්සය, මේ කාරණය මෙසේම වන්නේය. “සංඥාවෙහි පහනොවූ රාගය ඇත්තාහට යම්සේද, එසේ සංස්කාරයන්හි පහනොවූ රාගය ඇති, පහනොවූ ඡන්දය ඇති, පහනොවූ ප්රෙමය ඇති, පහනොවූ පිපාසය ඇති, පහනොවූ හාත්පස දැවිල්ල ඇති, පහනොවූ තෘෂ්ණාව ඇත්තාහට ඒ සංස්කාරයන්ගේ පෙරැළීමවූ අන් අයුරකින් වීමෙන් ශෝකය, වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?”-“එසේය ස්වාමීනි’යි (කීය.) “තිස්සය, සාදු! සාදු!! තිස්සය, මේ කාරණය මෙසේම වන්නේය.
“සංස්කාරයන්හි පහව නොගිය රාගය ඇත්තාහට යම්සේද, එසේ විඥානයෙහි පහව නොගිය ඇලුම් ඇති, පහව නොගිය කැමැත්ත ඇති, පහව නොගිය පෙම් ඇති, පහව නොගිය පිපාසය ඇති, පහව නොගිය හාත්පස දැවිල්ල ඇති, පහව නොගිය තෘෂ්ණාව ඇත්තාහට ඒ විඤ්ඤාණයාගේ පෙරැළීමවූ අන් අයුරකින් වීමෙන් ශෝකය, වැලපීමය, දුකය, නොසතුටය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?”-“එසේය, ස්වාමීනි”යි (කීය.) ‘තිස්සය, සාධු! සාධු!! තිස්සය, මේ කාරණය මෙසේම වන්නේය. විඤ්ඤාණයෙහි පහව නොගිය රාගය ඇත්තාහට යම්සේද, එමෙනියි.
“ඒ කුමැයි සිතන්නෙහිද? තිස්සය, රූපයෙහි පහව ගිය ඇලුම් ඇති, පහව ගිය කැමැත්ත ඇති, පහව ගිය පෙම් ඇති, පහව ගිය පිපාසය ඇති, පහව ගිය හාත්පස දැවීම ඇති, පහව ගිය තෘෂ්ණාව ඇත්තාහට ඒ රූපයාගේ පෙරැළීමවූ අන් අයුරකින් වීමෙන් ශෝකය, වැලපීමය, දුකය, දොම්නසය, දැඩි ආයාසය යන මොහු උපදිද්ද?”-“ස්වාමීනි, මෙය නොවේමය” සාධු! සාධු!! තිස්සය, මේ කාරණය එසේම වෙයි. රූපයෙහි පහවූරාගය ඇත්තාහට යම්සේද, එමෙනි.