9. 1. 4.
නවභික්ඛු සූත්රය
398. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එසමයෙහි වනාහි එක්තරා නවක භික්ෂුවක් සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ විහාරයට පැමිණ ස්වල්ප උත්සාහ ඇත්තේ තූෂ්ණීම්භූතවූයේ, වාසය කෙරෙයි. සිවුරු කරන සමයෙහි භික්ෂූන්හට වතාවත් නොකෙරෙයි. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂූහු වනාහි භාග්යවතුන්වහන්සේට මෙය කීවාහුය: “ස්වාමීනි, මේ ශාසනයෙහි එක්තරා නවක භික්ෂුවක් සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ වෙහෙරට පැමිණ, ස්වල්ප උත්සාහ ඇත්තේ, තූෂ්ණීම්භූත වූයේ, වාසය කෙරෙයි. සිවුරු කරන සමයෙහි භික්ෂූන්හට වතාවත් නොකෙරෙයි” කියායි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ වනාහි එක්තරා භික්ෂුවක්හට කථාකළසේක: “මහණ, නුඹ එව. මාගේ වචනයෙන් ඒ මහණහට කථා කරව. ‘ඇවැත, ශාස්තෲන් වහන්සේ නුඹට කථා කරනසේකැයි’ කියායි.” “එසේය, ස්වාමීනි”යි කියා ඒ මහණතෙම භාග්යවතුන් වහන්සේට පිළිතුරු දී, ඒ අලුත් භික්ෂුව යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ මහණහට මෙය කීයේය: ‘ඇවැත, ශාස්තෲන් වහන්සේ නුඹට කථා කරන සේකැයි’. ‘ඇවත, එසේය’යි ඒ මහණතෙම වනාහි ඒ මහණහට පිළිතුරු දී, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ඒ මහණහට වනාහි භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක: “මහණ, නුඹ සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ වෙහෙරට පිවිස, ස්වල්ප උත්සාහ ඇත්තේ, තූෂ්ණීම්භූත වූයේ, වාසය කෙරෙහිය. සිවුරු කරන සමයෙහි භික්ෂූන්හට වතාවත් නොකෙරෙහිය යනු සැබෑද?” “ස්වාමීනි, මම වනාහි මාගේ (භාවනා) කෘත්යය කරමියි.”
ඉක්බිති භාග්යවතුන්වහන්සේ ඒ නවක මහණහුගේ සිත (පරචිත්ත විජානන) සිතින් දැන, භික්ෂූන්හට කථා කළ සේක: “මහණෙනි, තෙපි මේ නවක මහණහට උජ්ඣායනය (නුගුණ කියන්නට) එපා. මහණෙනි, මේ භික්ෂුව වනාහි සතර ධ්යානයන් කැමැති පරිදි ලබන්නෙක්, නිදුකින් ලබන්නෙක්, පහසුවෙන් ලබන්නෙක් වන්නේය. යමක් සඳහා කුලපුත්රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්රහ්මචර්ය්යාව අවසානකොට ඇති ඒ අනුත්තර අර්ථය මේ ආත්මයේදීම තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරේයයි.” භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. සුගතයන් වහන්සේ මෙය දේශනාකොට, ඊට අනතුරුව ශාස්තෲන් වහන්සේ මේ ගාථා දේශනා කළසේක:
“ලිහිල්වූ වීර්ය්යය කොට, ස්වල්ප උත්සාහයකින් සියලු කෙලෙස් ගැට මුදන්නාවූ, මේ නිර්වාණයට පැමිණිය නොහැක්කේය.”
“මේ නවක මහණතෙම, මේ උත්තම පුරුෂ තෙම, සේනාව සහිතවූ මාරයා දිනා, අන්තිම දේහය දරන්නේය.”
9. 1. 5.
සුජාත සූත්රය
399. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති ආයුෂ්මත් සුජාත ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. භාග්යවතුන් වහන්සේ, එන්නාවූ ආයුෂ්මත් සුජාත තෙරුන් දූරතොව (දුරදීම) ආගච්ඡන්තං (එනු) දුටුසේක. දැක, භික්ෂූන්හට කථා කළසේක:
“මහණෙනි, මේ කුලපුත්රතෙම අංග දෙකකින් හොබනේය: යම් හෙයකින් අභිරූපද, දස්සනීයද, පාසාදිකද, උතුම් වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වූයේද, යමක් සඳහා කුලපුත්රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්රහ්මචර්ය්යාව අවසානකොට ඇති ඒ අනුත්තර ධර්මය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙයිද (යන මේ අංග දෙකිනි).” භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනා කොට, ඊට අනතුරුව ශාස්තෲන් වහන්සේ මේ ගාථාව දේශනා කළසේක:
“මේ මහණතෙම ඍජුවූ සිතින් ඒකාන්තයෙන් හොබනේය. විප්පමුත්තො (කෙලෙසුන්ගෙන් මිදුනාවූ), විසඤ්ඤුත්තො (සංයෝගයන්ගෙන් වෙන්වූ), උපාදාන රහිතව පිරිනිවියාවූ, හෙතෙම පිරිවර සහිත මාරයා දිනා, අන්තිම දේහය දරන්නේය.”
9. 1. 6.
ලකුණ්ටකභද්දිය සූත්රය
400. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
ඉක්බිති ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. භාග්යවතුන් වහන්සේ එන්නාවූ ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය ස්ථවිරයන් දුරදීම දුටුසේක. දැක, මහණුන්හට කථා කළසේක:
“මහණෙනි, තෙපි වනාහි එන්නාවූ, දුර්වර්ණවූ, විරූපීවූ, මිටිවූ, භික්ෂූන්ගේ හෙළාදැක්මට භාජනවූ, මේ මහණතෙම දකිව්ද?” “එසේය, ස්වාමීනි.” “මහණෙනි, මේ මහණතෙම වනාහි මහත්වූ ඍද්ධි ඇත්තේය. මහත්වූ ආනුභාව ඇත්තේය. ඒ මහණහු විසින් සමනොවැදුනු විරූ යම් සමාපත්තියක් වේද, එවැනි සමාපත්තියක් සුලභ නොවේ. යමක් සඳහා කුලපුත්රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්රහ්මචර්ය්යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙයි” කියායි. භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළ සේක:
කයෙහි සමානත්වයක් නැත්තාවූ, හංසයෝද, කොස්වා ලිහිණියෝද, මොනරුද, ඇත්තුද, ‘පසද’ නම් මුවෝද යන සියල්ලෝම සිංහයාහට බිය වෙති.
එසේම වනාහි මිනිසුන් අතුරෙහි නුවණ ඇත්තාවූ තැනැත්තේ වනාහි ළදරු වූයේ නුමුත් ඒ කාරණයෙන් මහත් වෙයි. ශරීරය ඇත්තේවී නමුත් බාලතෙම මහත් නොවේයයි.