9. 1. 5.
සුජාත සූත්‍රය
399. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති ආයුෂ්මත් සුජාත ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ, එන්නාවූ ආයුෂ්මත් සුජාත තෙරුන් දූරතොව (දුරදීම) ආගච්ඡන්තං (එනු) දුටුසේක. දැක, භික්ෂූන්හට කථා කළසේක:
“මහණෙනි, මේ කුලපුත්‍රතෙම අංග දෙකකින් හොබනේය: යම් හෙයකින් අභිරූපද, දස්සනීයද, පාසාදිකද, උතුම් වර්ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්ත වූයේද, යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ අනුත්තර ධර්මය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙයිද (යන මේ අංග දෙකිනි).” භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනා කොට, ඊට අනතුරුව ශාස්තෲන් වහන්සේ මේ ගාථාව දේශනා කළසේක:
“මේ මහණතෙම ඍජුවූ සිතින් ඒකාන්තයෙන් හොබනේය. විප්පමුත්තො (කෙලෙසුන්ගෙන් මිදුනාවූ), විසඤ්ඤුත්තො (සංයෝගයන්ගෙන් වෙන්වූ), උපාදාන රහිතව පිරිනිවියාවූ, හෙතෙම පිරිවර සහිත මාරයා දිනා, අන්තිම දේහය දරන්නේය.”
9. 1. 6.
ලකුණ්ටකභද්දිය සූත්‍රය
400. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
ඉක්බිති ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය ස්ථවිරයන් දුරදීම දුටුසේක. දැක, මහණුන්හට කථා කළසේක:
“මහණෙනි, තෙපි වනාහි එන්නාවූ, දුර්වර්ණවූ, විරූපීවූ, මිටිවූ, භික්ෂූන්ගේ හෙළාදැක්මට භාජනවූ, මේ මහණතෙම දකිව්ද?” “එසේය, ස්වාමීනි.” “මහණෙනි, මේ මහණතෙම වනාහි මහත්වූ ඍද්ධි ඇත්තේය. මහත්වූ ආනුභාව ඇත්තේය. ඒ මහණහු විසින් සමනොවැදුනු විරූ යම් සමාපත්තියක් වේද, එවැනි සමාපත්තියක් සුලභ නොවේ. යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙයි” කියායි. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළ සේක:
කයෙහි සමානත්වයක් නැත්තාවූ, හංසයෝද, කොස්වා ලිහිණියෝද, මොනරුද, ඇත්තුද, ‘පසද’ නම් මුවෝද යන සියල්ලෝම සිංහයාහට බිය වෙති.
එසේම වනාහි මිනිසුන් අතුරෙහි නුවණ ඇත්තාවූ තැනැත්තේ වනාහි ළදරු වූයේ නුමුත් ඒ කාරණයෙන් මහත් වෙයි. ශරීරය ඇත්තේවී නමුත් බාලතෙම මහත් නොවේයයි.
9. 1. 7.
විසාඛ සූත්‍රය
401. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි පඤ්චාලිපුත්‍ර ආයුෂ්මත් විශාඛ ස්ථවිරතෙම උපස්ථාන ශාලාවෙහිදී ගැමිනොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ, වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වයි. සමාදන් කරවයි’ තියුණු කරවයි, සතුටු කරවයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක ස්ථානයෙන් නැඟීසිටියේ උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එතැන්හි වැඩිසේක. වැඩ, පණවනලද ආසනයෙහි වැඩහුන්සේක. වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි භික්ෂූන්ට කථාකළ සේක: “මහණෙනි, කවරෙක් වනාහි උපස්ථාන ශාලාවෙහිදී ගැමිනොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍යසත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ, වචනයෙන් ධර්මකථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වයිද, සමාදන් කරවයිද, තියුණු කරවයිද, සතුටු කරවයිද කියායි?” “ස්වාමීනි, පඤ්චාලිපුත්‍රවූ ආයුෂ්මත් විසාඛ ස්ථවිර තෙම උපස්ථාන ශාලාවෙහිදී, ගැමි නොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වයි. සමාදන් කරවයි, තියුණු කරවයි, සතුටු කරවයි” කියා කීයේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලිපුත්‍රවූ ඇවැත් විසාඛහට ඇමතූසේක: “සාධු! සාධු!! විසාඛය, විසාඛය, නුඹ වනාහි මැනවි. ගැමිනොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ, වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වහි. සමාදන් කරහි, තියුණු කරහි, සතුටු කරහියි” වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක:
බාලයන් හා සමග මිශ්‍රවූ, පණ්ඩිතයා කථා නොකරනතාක් නොදනිත්. අමෘත පදය දේශනා කළ කල්හිම දනිත්.
ධර්මය කියන්නේය. පතුරුවන්නේය. ඍෂීන් ගේ ධජය (අරිහත් ධජය) ඔසවන්නේය. ඍෂීහු සුභාෂිතය ධජය (කොඩිය) කොට ඇත්තෝය. ඍෂීන්ගේ ධජය වනාහි ධර්මයයි.
9. 1. 8.
නන්ද සූත්‍රය
402. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති භාග්‍යවතුන්වහන්සේගේ මවගේ සහෝදරියගේ පුත්‍රවූ ආයුෂ්මත් නන්ද ස්ථවිරතෙම පඬුපොවනලද, නැවත නැවත පඬු පොවනලද, සිවුරු පොරවා, ඇස් අඳුන් ගා, පැහැපත් පාත්‍රයක් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් නන්ද ස්ථවිරයන්හට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය කීසේක: