නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
1. බුද්ධ වර්ගය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
1. 1. 1.
1. පටිච්ච සමුප්පාද සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, පටිච්ච සමුප්පාදය දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව් කියන්නෙමියි” “එසේය ස්වාමීනියි, කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.
“මහණෙනි, පටිච්චසමුප්පාදය නම් කවරේද? මහණෙනි, අවිද්යාව නිසා සංස්කාරයෝද, සංස්කාර නිසා විඤ්ඤාණයෝද, විඤ්ඤාණය නිසා නාමරූපද නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, (තදින් අල්ලා ගැනීම) උපාදානය නිසා භවයද, භවය නිසා උප්පත්තියද, උප්පත්තිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි. මහණෙනි, මෙය පටිච්චසමුප්පාදයයි.
අවිද්යාව මුළුමනින් නැතිවීමෙන්ම සංස්කාරයන්ගේ නැතිවීමද, සංස්කාරයන්ගේ නැතිවීමෙන් විඤ්ඤාණයේ නැතිවීමද, විඤ්ඤාණයාගේ නැතිවීමෙන් නාමරූපයන්ගේ නැතිවීමද, නාමරූපයන්ගේ නැතිවීමෙන් සළායතනයන්ගේ නැතිවීමද, සළායතනයන්ගේ නැතිවීමෙන් ස්පර්ශය නැතිවීමද, ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවීමද, වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවීමද, තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවීමද, උපාදානය නැතිවීමෙන් භවය නැතිවීමද, භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවීමද ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවීමද වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවීම වෙයි. මෙය භාග්යවතුන්වහන්සේ වදාළසේක. සතුටු සිතැති ඒ භික්ෂූහු බුදුන්ගේ දේශනාවට සතුටුවූහ.
1. 1. 2.
2. විභංග සූත්රය
2. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬුසිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ මහණෙනියි කියා භික්ෂූන් ඇමතූහ. ස්වාමීනි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි පටිච්චසමුප්පාදය දේශනා කරන්නෙමි. බෙදා දක්වන්නෙමි. එය මනාකොට අසව්. මෙනෙහි කරව්. කියන්නෙමියි’. “එසේය ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය දේශනාකළ සේක.
“මහණෙනි, පටිච්චසමුප්පාදය නම් කවරේද? මහණෙනි, අවිද්යාව නිසා සංස්කාරයෝද, සංස්කාර නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තෘෂ්ණාවද, තෘෂ්ණාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතිය (උප්පත්තිය) ද, ජාතිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයද ඇති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි.
“මහණෙනි, ජරාව සහ මරණය නම් කවරේද? ඒ ඒ සත්ව නිකායයෙහිවූ ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත් වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැලිවැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්රියයන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයයි කියනු ලැබේ.
මහණෙනි, මරණය නම් කවරක්ද? ඒ ඒ සත්වනිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදන් වීමක්, මෘත්යුසංඛ්යාත මරණයක්, කාලක්රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘත ශරීර අත්හැරදැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ. මහණෙනි; මෙසේ ඒ දිරීමද, මේ මැරීමද ජරා මරණයයි කියනු ලැබේ.
මහණෙනි; ජාතිය (ඉපදීම) නම් කවරේද? ඒ ඒ සත්ව නිකායෙහි ඒ ඒ සත්වයන්ගේ යම් ඇතිවීමක්, හට ගැනීමක්, බැස ගැනීමක්, ඉපදීමක්, සත්වයන්ගේ ඇතිවීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ ලැබීමක් වේද මහණෙනි, මෙය ජාතියයි කියනු ලැබේ.
“මහණෙනි, භවය නම් කවරේද? මහණෙනි, කාමභවය, රූපභවය සහ අරූප භවයයි මේ භවයෝ තිදෙනෙකි. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ.