9. භික්ඛු සංයුත්තය
1. පළමු වර්ගය
9. 1. 1.
මොග්ගල්ලාන සූත්‍රය
395. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී වනාහි ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේ ‘ඇවැත් මහණෙනි’යි කියා භික්ෂූන්ට කථා කළේය. ‘ඇවැත්නියි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේ මෙය කීයේය:
“ඇවැත්නි, මෙහි රහසිගතව විවේකව සිටි මට මෙවැනි කල්පනාවක් පහළවිය: ‘ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවය, ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයයි කියනු ලැබේ. ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවය වනාහි කවරක්ද?’ කියායි.”
“ඇවැත්නි, ඒ මට මෙසේ අදහස්විය: ‘මේ ශාසනයෙහි මහණතෙම විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ, සිතේ එකඟ බව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මෙය ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයයි’ කියනු ලැබේ.”
“ඇවැත්නි, ඒ මම වනාහි විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, සිතේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට පැමිණ, වාසය කෙරෙමි. ඇවැත්නි, මේ ද්විතීයද්ධ්‍යාන විහරණයෙන් යුක්තව වාසය කරන්නාවූ, ඒ මට විතර්කය අරමුණු කොට ඇති සංඥාවද මනසිකාරයද උපදියි. ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් වැඩ, මට මෙය වදාළසේක: ‘මොග්ගල්ලාන, මොග්ගල්ලාන, බ්‍රාහ්මණ, ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයෙහි ප්‍රමාද නොවෙව. ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයෙහි සිත මනාකොට තබව. ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයෙහි සිත එකඟ කරව. ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයෙහි සිත තැන්පත් කරව.’”
“ඇවැත්නි, ඒ මම ඉන්පසු විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, සිතේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට පැමිණ, වාසය කෙළෙමි. ඇවැත්නි, යමෙකු ගැන මනා කොට කියන්නෙක් ‘ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද්දාවූ, ශ්‍රාවකයෙක්තෙම මහා අභිඥාවන්ට පැමිණියේය’යි කියන්නේ නම්, ‘ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද්දාවූ, ශ්‍රාවකයෙක්තෙම මහා අභිඥාවන්ට පැමිණියේය’ යන එය මනාකොට කියන්නාහු විසින් මා උදෙසාම කියයුතු වන්නේය.”
9. 1. 2.
සාරිපුත්ත සූත්‍රය
396. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එහිදී වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ “ඇවැත් මහණෙනි”යි කියා භික්ෂූන්ට කථාකළසේක. ‘ඇවැත්නි’ කියා ඒ භික්ෂූහු වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්හට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ මෙය කීයේය:
“ඇවැත, මෙහි රහසිගතව, විවේකව සිටි මට මෙවැනි අදහසක් පහළවිය: ‘යමක්හුගේ වෙනස්වීමෙන් හෝ අන්‍යථාභාවයෙන් මා හට සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදින්නාහුද, එවැනිවූ කිසිවක් ලෝකයෙහි ඇත්තේදෝ’යි කියාය.”
“ඇවැත්නි, ඒ මට මේ අදහස ඇතිවිය: ‘යමක්හුගේ වෙනස්වීමෙන් හෝ අන්‍යථාභාවයෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදින්නාහුද, එවැනිවූ කිසිවක් ලෝකයෙහි නැත’ කියායි.”
මෙසේ කීකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය: “ඇවැත්, ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ශාස්තෲන් වහන්සේගේ වෙනස්වීමෙන් හෝ අන්‍යථාභාවයෙන්ද ඔබ වහන්සේට සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදින්නාහුද?”
“ඇවැත, ශාස්තෲන් වහන්සේගේ වෙනස්වීමෙන් හෝ අන්‍යථාභාවයෙන්ද, මාහට සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදින්නාහුය. එහෙත් මට මේ අදහස ඇති වන්නේය: ‘පින්වත, ඒකාන්තයෙන් මහත් ඍද්ධි ඇත්තාවූ, මහත් ආනුභාව ඇත්තාවූ, මහේශාක්‍යවූ සත්වයෙක් අතුරුදන් විය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් මුළුල්ලෙහි වැඩ සිටින සේක් නම්, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස වන්නේය’ කියායි.”
“එය එසේමය, ආයුෂ්මත් ශාරිපුත්‍රයන් විසින් බොහෝ කලකට පෙර අහංකාර මමංකාර මානානුසයෝ මැනවින් නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් ශාරිපුත්‍රයන්හට ශාස්තෲන් වහන්සේගේ වෙනස්වීමෙන් හෝ අන්‍යථාභාවයෙන්ද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදින්නාහුය.”
9. 1. 3.
මහානාග සූත්‍රය
397. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද, රජගහනුවර සමීපයෙහිවූ, කලන්දකනිවාප නම් ලත් වේළුවනාරාමයෙහි එකම කාමරයක වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ සවස් කාලයෙහි විවේකස්ථානයෙන් නැගී සිටියේ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය: “ඇවැත් මොග්ගල්ලානය ඔබගේ ඉන්ද්‍රියෝ අතිශයින් ප්‍රසන්නවූවාහුය. මුහුණේ වර්ණය පිරිසිදු වූයේය. පරියෝදාත වූයේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලානතෙම ඒකාන්තයෙන් අද ශාන්තවූ විහරණයකින් වාසය කළේය” කියායි.