7. 1. 8.
සූචිලෝම සූත්‍රය
369. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන ඉඳිකටු වැනි ලොම් ඇති (සූචිලෝම) පුරුෂයකු දුටුවෙමි. ඔහුගේ ඒ ඉඳිකටු උඩට නැඟ නැඟ ඔහුගේම සිරුරෙහි වැටෙයි. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම අසුන් හික්මවන්නෙක් (නොහොත් ගවයන් හික්මවන්නෙක්) විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
7. 1. 9.
දෙවැනි සූචිලෝම සූත්‍රය
370. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන ඉඳිකටු වැනි ලොම් ඇති (සූචිලෝම) පුරුෂයකු දුටුවෙමි. ඔහුගේ ඒ ඉඳිකටු හිසට ඇතුළු වී මුවෙන් නික්මෙයි. මුවට ඇතුළු වී පපුවෙන් නික්මෙයි. පපුවට ඇතුළු වී බඩෙන් නික්මෙයි. බඩට ඇතුළු වී කලවාවලින් නික්මෙයි. කලවාවලට ඇතුළු වී කෙණ්ඩාවලින් නික්මෙයි. කෙණ්ඩාවලට ඇතුළු වී පාදවලින් නික්මෙයි. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම කේලාම් කියන්නෙක් (සූචකයෙක්) විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
7. 1. 10.
කුම්භණ්ඩ සූත්‍රය
371. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන කළයක් පමණ වූ අණ්ඩ (වෘෂණ) ඇති (කුම්භණ්ඩ) පුරුෂයකු දුටුවෙමි. හෙතෙම යන විටත් ඒ අණ්ඩ කරට නඟාගෙනම යයි. හිඳින විටත් ඒ අණ්ඩ මතම හිඳියි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඔහු ලුහුබැඳ ලුහුබැඳ කඩා කති, ඉරා කති. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම (අල්ලස් ගෙන වැරදි තීන්දු දුන්) විනිසකරු ඇමතියෙක් විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
පළමුවෙනි වර්ගය නිමි.
එහි උද්දානය:
අට්ඨි, පේසි යන ප්‍රේතයන් දෙදෙන ගෝඝාතකයෝ වූහ. මංස පිණ්ඩ (මස් පිඬු) ප්‍රේතයා සාකුණිකයෙක් (පක්ෂීන් මරා ජීවත් වන්නෙක්) විය. නිච්ඡවි (සම නැති) ප්‍රේතයා එළුවන් මරා ජීවත් වන්නෙක් විය. අසිලෝම ප්‍රේතයා සූකරිකයෙක් (හූරන් මරා ජීවත් වන්නෙක්) විය. සත්ති ලෝම ප්‍රේතයා (මුවන් මරා ජීවත් වන්නෙක්) විය. උසුලෝම ප්‍රේතයා (රාජාපරාධකාරයන් විද මරන්නෙක්) විය. සූචිලෝම ප්‍රේතයා (අසුන් හික්ම වන්නෙක්) විය. සූචිලෝම නම් යම් ප්‍රේතයෙකු වසනු ලැබේද හේ කේලාම් කියන්නෙක් විය. අණ්ඩභාරී ප්‍රේතයා කූට (හොර) විනිශ්චයකාරයෙක් විය. සිඛ්ඛියති යයි කියා මේ වර්ගයෙහි සූත්‍ර දශයෙකි