7. 1. 9.
දෙවැනි සූචිලෝම සූත්‍රය
370. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන ඉඳිකටු වැනි ලොම් ඇති (සූචිලෝම) පුරුෂයකු දුටුවෙමි. ඔහුගේ ඒ ඉඳිකටු හිසට ඇතුළු වී මුවෙන් නික්මෙයි. මුවට ඇතුළු වී පපුවෙන් නික්මෙයි. පපුවට ඇතුළු වී බඩෙන් නික්මෙයි. බඩට ඇතුළු වී කලවාවලින් නික්මෙයි. කලවාවලට ඇතුළු වී කෙණ්ඩාවලින් නික්මෙයි. කෙණ්ඩාවලට ඇතුළු වී පාදවලින් නික්මෙයි. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම කේලාම් කියන්නෙක් (සූචකයෙක්) විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
7. 1. 10.
කුම්භණ්ඩ සූත්‍රය
371. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන කළයක් පමණ වූ අණ්ඩ (වෘෂණ) ඇති (කුම්භණ්ඩ) පුරුෂයකු දුටුවෙමි. හෙතෙම යන විටත් ඒ අණ්ඩ කරට නඟාගෙනම යයි. හිඳින විටත් ඒ අණ්ඩ මතම හිඳියි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඔහු ලුහුබැඳ ලුහුබැඳ කඩා කති, ඉරා කති. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම (අල්ලස් ගෙන වැරදි තීන්දු දුන්) විනිසකරු ඇමතියෙක් විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
පළමුවෙනි වර්ගය නිමි.
එහි උද්දානය:
අට්ඨි, පේසි යන ප්‍රේතයන් දෙදෙන ගෝඝාතකයෝ වූහ. මංස පිණ්ඩ (මස් පිඬු) ප්‍රේතයා සාකුණිකයෙක් (පක්ෂීන් මරා ජීවත් වන්නෙක්) විය. නිච්ඡවි (සම නැති) ප්‍රේතයා එළුවන් මරා ජීවත් වන්නෙක් විය. අසිලෝම ප්‍රේතයා සූකරිකයෙක් (හූරන් මරා ජීවත් වන්නෙක්) විය. සත්ති ලෝම ප්‍රේතයා (මුවන් මරා ජීවත් වන්නෙක්) විය. උසුලෝම ප්‍රේතයා (රාජාපරාධකාරයන් විද මරන්නෙක්) විය. සූචිලෝම ප්‍රේතයා (අසුන් හික්ම වන්නෙක්) විය. සූචිලෝම නම් යම් ප්‍රේතයෙකු වසනු ලැබේද හේ කේලාම් කියන්නෙක් විය. අණ්ඩභාරී ප්‍රේතයා කූට (හොර) විනිශ්චයකාරයෙක් විය. සිඛ්ඛියති යයි කියා මේ වර්ගයෙහි සූත්‍ර දශයෙකි
2. දෙවැනි වර්ගය
7. 2. 1.
ගූථකූප සූත්‍රය
212. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසයකරනසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේද, ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන් හට මෙය කීයේය. “ආයුෂ්මත් මොග්ගගල්ලානයෙනි, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත්, ලක්ඛණය, මේ ප්‍රශ්නයට (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි’ කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින්පසු (සවස) පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියාහුය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය, එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. “ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්වහන්සේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඇවැත් මොග්ගල්ලානයෙනි, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
ඇවැත්නි, මෙහි මම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ අසූචි වළක හිස සහිතව ගිලුණු පුරුෂයෙකු දුටුවෙමි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්වයා මේ රජගහ නුවරම අනුන්ගේ බිරියන් සේවනය කළ කෙනෙක් විය -පෙ- මෙබඳු ආත්මභාවයක් ලැබීම විඳින්නේ යැයි වදාළ සේක.
7. 2. 2.
ගූථඛාදී සූත්‍රය
373. ඇවැත්නි, මෙහි මම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ අසූචි වළක ගිලී, දෑතින් අසූචි කන පුරුෂයෙකු දුටුවෙමි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්වයා මේ රජගහ නුවරම දුෂ්ට බ්‍රාහ්මණයෙක් විය. හෙතෙම කස්සප සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි භික්ෂුසංඝයාට දානයට ආරාධනා කොට, ඔරු අසූචියෙන් පුරවා, කාලය දන්වා මෙසේ කීය: “පින්වත්නි, මෙයින් ඇති තාක් වළඳත්වා, ගෙනද යත්වා” -පෙ- මෙබඳු ආත්මභාවයක් ලැබීම විඳින්නේ යැයි වදාළ සේක.
7. 2. 3.
නිච්ඡවිත්ථි සූත්‍රය
374. ඇවැත්නි, මෙහි මම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ අහසින් යන, සිවිය (සම) නැති ස්ත්‍රියක දුටුවෙමි. ගිජුලිහිණියෝද කවුඩෝද උකුස්සෝද ඇය පසුපස ලුහුබැඳ ලුහුබැඳ කොටා කති, ඉරා කති. ඕ තොමෝ බැගෑපත් හඬ නඟයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ ස්ත්‍රිය මේ රජගහ නුවරම පරපුරුෂ සේවනය කළ ස්ත්‍රියක් වූවාය -පෙ- මෙබඳු ආත්මභාවයක් ලැබීම විඳින්නී යැයි වදාළ සේක.
7. 2. 4.
මඞ්ගුලිත්ථි සූත්‍රය
375. ඇවැත්නි, මෙහි මම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ අහසින් යන, දුගඳ හමන, විරූප වූ පිළිකුල් ස්ත්‍රියක දුටුවෙමි. ගිජුලිහිණියෝද කවුඩෝද උකුස්සෝද ඇය පසුපස ලුහුබැඳ ලුහුබැඳ කොටා කති, ඉරා කති. ඕ තොමෝ බැගෑපත් හඬ නඟයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ ස්ත්‍රිය මේ රජගහ නුවරම පේන කියන්නියක් (යක්දෙහි කම් කරන්නියක්) වූවාය -පෙ- මෙබඳු ආත්මභාවයක් ලැබීම විඳින්නී යැයි වදාළ සේක.