1. පළමුවෙනි වර්ගය
7. 1. 1.
අට්ඨි සූත්රය
202. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්ලත් වේළුවනයෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන් හට මෙය කීයේය. “ආයුෂ්මත් මොග්ගල්ලානයෙනි, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද?” “ඇවැත්, ලක්ඛණය, මේ ප්රශ්නයට (දැන්) සුදුසු කාලය නොවේ. භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය.
ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියාහුය. වැඩ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය, එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. “ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්වහන්සේ එක්තරා ප්රදේශයකදී සිනා පහළ කළේය. ඇවැත් මොග්ගල්ලානයෙනි, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද?”
ඇවැත්නි, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන්කරන්නාවූ, ඇටසැකිලි ප්රේතයකු දැක්කෙමි. යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළව එළවා, ඒ මොහුගේ ඉලඇට අතරෙහි විදිති. ඒ ඇටසැකිලි ප්රේතයා බැගෑපත් හඬ නගයි. ඇවැත්නි ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්ය්යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්යයෙකුත් වන්නේද මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේද, කියායි.’ ඉක්බිති භාග්යවතුන්වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, යම්හෙයකින් වනාහි ශ්රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්ය හෝ කරන්නේවේද, ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්රාවකයෝ වාසයකෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්රකාශ කෙළෙම් නම් අන්යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහුනම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක්පිණිස වන්නේය. මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම ගෝඝාතකයෙක් (හරක් මරන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සියගණනක්, බොහෝ වර්ෂ දහස්ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳින්නේයයි” වදාළසේක.
(සියලු සූත්රයන් සඳහා මෙයම පෙය්යාලම වේ)
7. 1. 2.
පේසි සූත්රය
203. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුනවනයෙහි) වාසයකරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාසිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින්පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක වැඩහුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ, එක්තරා ප්රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද?” “ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන් කරන්නාවූ, මංසපේසි (මස්පෙති) ප්රේතයකු දැක්කෙමි. යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද, එළව, එළවා ඒ මොහුගේ (මස්පෙති) උදුරා දමති. විනාශ කරති. ඒ මංසපේසි (මස්පෙති) ප්රේතයා බැගෑපත් හඬ නඟයි. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්ය්යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂූන්හට කථා කළසේක” “මහණෙනි, යම්හෙයකින් වනාහි ශ්රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්රකාශ කෙළෙම් නම් අන්යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක්පිණිස වන්නේය. “මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම ගෝඝාතකයෙක් විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සියගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
7. 1. 3.
පිණ්ඩ සූත්රය
204. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්ර, සිවුරුගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් හට මෙය කීයේය. ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක වැඩහුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද?” “ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන් කරන්නාවූ, මංස පිණ්ඩ (මස්පිඬු) ප්රේතයෙකු දැක්කෙමි. යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළව, එළවා ඒ මොහුගේ (මස්පිඬු) උදුරා දමති. විනාශකරති. ඒ මංස පිණ්ඩ (මස්පිඬු) ප්රේතයා බැගෑපත් හඬ නඟයි. “ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්ය්යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්ම භාවයක් ලැබීමකුදු වන්නේය කියායි.” ඉක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂූන් හට කථා කළ සේක. “මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්රාවකයෝ වාසය කෙරෙති. “මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්රකාශ කෙළෙම් නම් අන්යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය. “මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම සාකුණිකයෙක් (පක්ෂීන් මරා විකුණා ජීවත් වන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක් බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්ම භාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
7. 1. 4.
නිච්ඡවි සූත්රය
205. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්ර, සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු, රජගහ නුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්යවතුන් වහන්සේගේ සමීපයේදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු, (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුණාහු, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක වැඩ හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්රත්යය කවරේද? ‘ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන් කරන්නාවූ, නිච්ඡවි (සම නැති) ප්රේතයෙකු දැක්කෙමි. යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළව, එළවා ඒ මොහුගේ (සම නැති මස්) උදුරා දමති. විනාශ කරති. ඒ නිච්ඡම්ම (සම නැති) ප්රේතයා බැගෑපත් හඬ නඟයි. “ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්ය්යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්ම භාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක. “මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්ය හෝ කරන්නේද ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නාලද්දේ විය. එහෙත් මම ප්රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්රකාශ කෙළෙම් නම් අන්යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය. “මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම ඕරබ්භිකයෙක් (එළුවන් මරා ජීවත් වන්නෙක් විය.) හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.