5. 2. 3-10.
සුවණ්ණනික්ඛ සූත්‍රය ආදී වූ අට
309-316. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
[මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය -පෙ-]
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දැනගතිමි: “න චායමායස්මා - (මේ ආයුෂ්මත්තෙම -)”
රත්රන් කාසියක් නිසා හෝ (දැන දැන බොරු නොකියන්නේය කියායි. පසුකලකදී ඔහු බොරු කියනු දකිමි.) -පෙ- (තෙවැන්න)
රන්කාසි සියයක් නිසා හෝ -පෙ- (සිව්වැන්න)
සිගී රන් කාසියක් නිසා හෝ -පෙ- (පස්වැන්න)
සිගී රන් කාසි සියයක් නිසා හෝ -පෙ- (සයවැන්න)
රත්රන්වලින් පිරුණාවූ පෘථුවිය නිසා හෝ -පෙ- (සත්වැන්න)
කිසියම් ආමිසයක් නිසා හෝ -පෙ- (අටවැන්න)
ජීවිතය නිසා හෝ -පෙ- (නවවැන්න)
ජනපද කල්‍යාණිය නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය කියායි. එහෙත් ඒ පුද්ගලයා මම පසුකලකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මැඩී, සිත අරගෙන, දැන දැන බොරු කියනු දකිමි.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය -පෙ- [උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි. (දසවැන්න)
පාතිවග්ගො දුතියො
තස්සුද්දානං:
පාති සූත්‍ර දෙකද, සුවණ්ණ සූත්‍ර දෙකද, සිගී සූත්‍ර දෙකද, පඨවි, කිඤ්චික්ඛ, ජීවිත සහ ජනපදකල්‍යාණී සූත්‍රය දැයි දසයකි.
3. තුන්වැනි වර්ගය
5. 3. 1.
1. මාතුගාම සූත්‍රය
317. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
මහණෙනි, යමෙකුගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලින් මැඩගෙන සිටින්නේද, එහිදී, තනිව සිටින්නාවූ ඔහුගේ සිත එක් ස්ත්‍රියක් මැඩගෙන සිටින්නීය.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
5. 3. 2.
2. කල්‍යාණි සූත්‍රය
318. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
මහණෙනි, යමෙකුගේ සිත ලාභ සත්කාර කීර්තියෙන් මැඩගෙන සිටින්නේ නම් එහිදී තනිව සිටින්නාවූ ඔහුගේ සිත එක් ජනපද කල්‍යාණියක් (ජනපදයෙහිවූ උතුම් ස්ත්‍රියක්) මැඩගෙන සිටින්නීය.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙසේ හික්මියයුතු වන්නේය, (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු, උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
5. 3. 3.
3. පුත්‍ර සූත්‍රය
319. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
මහණෙනි, ශ්‍රද්ධාවෙන් උපාසිකාවක් තොමෝ ප්‍රියවූ, මනාපවූ, එකම පුතුහට මනාකොට කියන්නී මෙසේ කියන්නීය. (කෙසේද?) ‘දරුව, චිත්ත ගහපති තෙමේ සහ හත්ථාලවක තෙමේ යම්සේද, එසේ වෙයි’ කියන්නීය.
“මහණෙනි, මේ චිත්ත ගහපති තෙමේද හත්ථාලවක තෙමේද, මාගේ ශ්‍රාවක උපාසකයන්ගේ තරාදිය වෙයි. මිනුම වෙයි.
‘දරුව, ඉදින් නුඹ වනාහි ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදි වන්නෙහි නම් ශාරිපුත්‍ර මොග්ගල්ලාන දෙනම යම්සේද, එසේ වේවයි’ කියන්නීය.
“මහණෙනි, මේ සාරිපුත්ත මොග්ගල්ලානයෝ මාගේ ශ්‍රාවක භික්ෂූන්ගේ තරාදියයි මිනුමයි.