5. ලාභසක්කාර සංයුත්තය
1. දාරුණ වර්ගය
5. 1. 1.
දාරුණ සූත්රය
297. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි, කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, ලාභ සත්කාර ස්තුති ප්රශංසා දරුණුය. කටුකය. ඵරුෂය. අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුත්තේය. “උපන්නාවූ ලාභ සත්කාර ස්තුති ප්රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර ස්තුති ප්රශංසා අපගේ කුසල් සිත යම්සේ මැඩගෙන නොසිටින්නේද ඒ ආකාරයෙනි.” මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 1. 2.
බාළිස සූත්රය
298. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර... ජේතවනාරාමයෙහි...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබොධයට අනතුරු වන්නේය. මහණෙනි, යම්සේ වනාහි බිලීබාන්නෙක් ඇම ඇමිණූ බිලිය ගැඹුරුවූ, මහමුහුදෙහි දමන්නේවේද, ඒ බිලිය එක්තරා ඇම දුටු මාලුවෙක් ගිලින්නේය. මහණෙනි, මෙසේ වනාහි ඒ බිලී බාන්නාගේ බිලිය ගිලු මාලුවා දුකට විනාශයට පැමිණියේ බිලී බාන්නාට කැමැත්තක් කළ හැකිවෙයි. මහණෙනි, බිලීබාන්නා යන මේ වචනය වනාහි පවිටුවූ, මාරයාහට කියන නාමයකි. මහණෙනි, බිළිය යන මේ වචනය ලාභ සත්කාර ස්තුති ප්රශංසාවන්ට කියන නාමයකි.
මහණෙනි, යම්කිසි මහණෙක් තෙම වනාහි උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්රශංසා රස විඳියිද, ආශා කෙරෙයිද? මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ බිළිය ගිලින ලද්දේ දුකට පැමිණියේයයි කියාද, විනාශයට පැමිණියේයයි කියාද, මාරයාහට කැමැත්තක් කළ හැකි වූයේයයි කියාද කියනු ලැබේ. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය... අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ නික්මිය යුතු වන්නේය: “උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.” මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 1. 3.
කුම්ම සූත්රය
299. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර... ජේතවනාරාමයෙහි...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ-
මහණෙනි, පෙරවූ දෙයක් කියමි. එක්තරා මුහුදක මහත්වූ කැසුබු කුලයක් බොහෝ කාලයක පටන් වාසය කරන්නේ විය. මහණෙනි, ඉක්බිති එක්තරා කැස්බෙක් වනාහි එක්තරා කැස්බෙකුට මෙය කීයේය. “දරුව, කැස්බ, නුඹ වනාහි ඒ ප්රදේශයට නොයව”යි කියායි. මහණෙනි, ඒ කැසුබු තෙම ඒ ප්රදේශයට ගියේය. ඒ මේ කැස්බාට වැද්දෙක් ඇවුලුම් බිලියකින් ගැසුවේය. මහණෙනි, ඉක්බිති ඒ කැසුබුතෙම ඒ අවවාද කළ කැස්බා යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මහණෙනි, ඒ අවවාද දුන් කැසුබුවා එන්නාවූ ඒ විදුම් කෑ කැසුබුවා දුරදීම දුටුවේය. දැක ඒ විදුම් කෑ කැස්බාහට මෙය කීයේය: “දරුව, කැස්බා, කිමෙක්ද? නුඹ ඒ ප්රදේශයට නොගියෙහිද?” “කැසුබු පියාණෙනි, මම වනාහි ඒ ප්රදේශයට ගියෙමි.” “දරුව, කැස්බ, කිමෙක්ද? නුඹට වනාහි ඇවුලුම් බිලියකින් පහර දෙනු ලැබුයෙහිද?” “කැසුබු පියාණෙනි, මම වනාහි ඇවුලුම් බිලියකින් පහර දෙනු ලැබූවෙමි. මාගේ පසුපස මා අනුව ගමන් කරන්නාවූ, මේ නූලක්ද ඇත්තේය.”
“එසේනම් කැසුබු දරුව තුවාල කරන ලද්දේය. එසේනම් නසන ලද්දේය. දරුව, කැස්බ, මේ වැද්දා විසින් තාගේ පිය වරුද, සීයා වරුද දුකට පත්කරනු ලැබූහ. විනාශයට පත්කරනු ලැබූහ. දරුව කැසිබුව, නුඹ දැන් යව. දැන් නුඹ අපගේ නොවේ.”
මහණෙනි, වැද්දා යන මේ වචනය වනාහි පවිටුවූ, මාරයාහට කියන නාමයකි. මහණෙනි, ඇවුලුම් බිලිය යන මේ වචනය වනාහි ලාභ සත්කාර ස්තුති ප්රශංසාවට කියන නාමයකි. මහණෙනි, නූල යන මේ වචනය වනාහි ආශාවට කියන නාමයකි. යම්කිසි මහණෙක් තෙම වනාහි උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා රස විඳියි, ආශා කෙරෙයි, මහණෙනි, මේ මහණතෙම ඇවුලුම් බිලියට ගිජුව දුකට පැමිණියේය, විනාශයට පැමිණියේයයි කියාද, පවිටු මාරයාහට කැමැත්තක් කළ හැකි වූයේයයි කියාද, කියනු ලැබේ. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ- [ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය: උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 1. 4.
දීඝලොමිඵළක සූත්රය
300. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ-
මහණෙනි, යම්සේ වනාහි දික් ලොම් ඇති එලුදෙනක් කටු ලැහැබකට පිවිසෙන්නේ වේද, ඕ ඒ ඒ තැන ලැගෙන්නීය, ඒ ඒ තැන රැඳෙන්නීය, ඒ ඒ තැන බැඳෙන්නීය, ඒ ඒ තැන විනාශයට පැමිණෙන්නීය. මහණෙනි, එසේම වනාහි මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කළ කුසල් සිත් ඇත්තේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්රය ගෙන කුඩා ගමකට හෝ මහ ගමකට හෝ පිඬු පිණිස යන්නේද, හෙතෙම ඒ ඒ තැන ලැගෙයි, ඒ ඒ තැන රැඳෙයි, ඒ ඒ තැන බැඳෙයි, ඒ ඒ තැන්හිදී විනාශයට පැමිණෙයි. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ- [උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.