5. 1. 10.
සගාථ සූත්‍රය
306. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය -පෙ-
මහණෙනි, මම මේ ශාසනයෙහි ලාභ සත්කාරයෙන් මඩනාලද විනාශ කරන ලද කුසල් සිත් ඇති, ශරීරය බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, නපුරු වැටීම් ඇත්තාවූ, නිරයෙහි උපන්නාවූ, ඇතැම් පුද්ගලයකු දකිමි.
මහණෙනි, මම මේ ශාසනයෙහි අසත්කාරයෙන් මඩනා ලද්දාවූ, විනාශ කළ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු, සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, නපුරු වැටීම් ඇත්තාවූ, නිරයෙහි උපන්නාවූ ඇතැම් පුද්ගලයකු දකිමි.
මහණෙනි, මම මේ ශාසනයෙහි සත්කාරයෙන්ද, අසත්කාරයෙන්ද යන ඒ දෙකින්ම මඩනා ලද්දාවූ, විනාශ කළ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු, සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, නපුරු වැටීම් ඇත්තාවූ, නිරයෙහි උපන්නාවූ ඇතැම් පුද්ගලයකු දකිමි.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් යෝගක්ක්ෂේමයේ අධිගමයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය: “උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.” මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනා කොට, ඊට අනතුරුව මේ ගාථා දෙකද වදාළසේක:
“අර්හත් ඵල සමාධියෙන් යුක්තව වාසය කරන්නාවූ යමෙකුගේ සත්කාර කිරීමෙන්ද, සත්කාර නොකිරීමෙන්ද යන දෙයාකාරයෙන්ම සමාධිය කම්පා නොවේද?”
“නිතර සමාධියෙන් යුක්තවූ මාර්ගඥානයෙන් හා විදර්ශනා ඥානයෙන් යුක්තවූ සතර උපාදානයන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිර්වාණයෙහි ඇලුණාවූ ඔහු සත්පුරුෂයයි කීහු.”
දාරුණ වර්ගය පළමුවැනියි
එහි උද්දානය:
දාරුණ සූත්‍රය, බාළිස සූත්‍රය, කුම්ම සූත්‍රය, දීඝ ලෝමී සූත්‍රය, මීළ්හක සූත්‍රය, අසනි සූත්‍රය, දිද්ධ සූත්‍රය, සිගාල සූත්‍රය, වේරම්බ සූත්‍රය සහ සගාථ සූත්‍රය දැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයකි.
2. පාතිවග්ගො
5. 2. 1.
සුවණ්ණපාති සූත්‍රය
307. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය -පෙ-
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ චිත්තානුපස්සනාවෙන් පිරිසිඳ දැනගතිමි: “මේ ආයුෂ්මත්තෙම රිදීසුණු පිරවූ රත්රන් පාත්‍රයක් නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය” කියායි. එහෙත් පසු කලකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් මඩනා ලදුව විනාශවූ කුසල් සිත් ඇතිව දැන දැන බොරු කියන්නාවූ, ඔහු දක්නෙමි.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය -පෙ- [උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 2. 2.
රූපියපාති සූත්‍රය
308. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය -පෙ-
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ චිත්තානුපස්සනාවෙන් පිරිසිඳ දැනගතිමි: “මේ ආයුෂ්මත්තෙම රත්රන් සුණු පිරවූ, රිදී පාත්‍රයක් නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය” කියායි. පසුකලකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලදුව විනාශවූ කුසල් සිත් ඇතිව, දැන දැන බොරු කියන්නාවූ ඔහු දක්නෙමි.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය -පෙ- [උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.