2. 3. 9.
චූළසකුලුදායි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ විසූහ. එකල්හි වනාහි සකුළුදායී නම් පරිව්‍රාජක තෙම මෝරනිවාප නම්වූ පරිබ්‍රාජකාරාමයෙහි මහත්වූ පරිබ්‍රාජක පිරිස සමග වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳපෙරවා පාසිව්රු ගෙණ රජගහ නුවරට පිඬු පිණිස පැමිණියෝය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් විය. තවම රජගහනුවරට පිඬුපිණිස පැමිණෙන්ට ඉතා උදෑසන වේ. ‘මම මෝරනිවාප නම් පරිබ්‍රාජකාරාමය යම් තැන තැනකද, සකුළුදායී නම් පරිව්‍රාජක තෙම යම් තැනකද එහි එළඹෙන්නෙම් නම් යෙහෙක, කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෝරනිවාප නම් පරිබ්‍රාජකාරාමය යම් තැනකද එතැනට පැමිණියෝය. එකල්හි වනාහි සකුළුදායී නම් පරිබ්‍රාජක තෙම උස්හඬින් හා මහත්වූ හඬින් ඝෝෂා කරමින් නොයෙක් තිරිසන් කථා කියන්නාවූ මහත් පරිබ්‍රාජක පිරිස සමග හුන්නේ වෙයි. එනම්, රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහ ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ ගැන කථාය, ආහාර ගැන කථාය, බීම ගැන කථාය, වස්ත්‍ර ගැන කථාය, සයන ගැන කථාය, මාලා ගැන කථාය, ගන්ධ ගැන කථාය, නෑයන් ගැන කථාය, යානා ගැන කථාය, ගම් ගැන කථාය, මහගම් ගැන කථාය, නගර ගැන කථාය, ජනපද ගැන කථාය, ස්ත්‍රින් ගැන කථාය, සූරයන් ගැන කථාය. වීථි ගැන කථාය, දිය ගන්නා තැන් ගැන කථාය, මළවුන් ගැන කථාය. නොයෙක් නොයෙක් කථාය, ලෝකය ගැන කථාය, සමුද්‍රය ගැන කථාය, පිරිහීම නොපිරිහීම ගැන කථාය යන මේයි. සකුළුදායී පරිව්‍රාජක තෙම දුරදීම එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක තම පිරිස තැන්පත් කෙළේය. ‘පින්වත්නි නිශ්ශබ්ද වෙත්වා පින්වත්නි ශබ්ද නොකරව්. මේ ශ්‍රමණ ගෞතම තෙමේ එන්නේය. ඒ ආයුෂ්මත් තෙමේ වනාහි නිශ්ශබ්ද වීම කැමැත්තේ නිශ්ශබ්ද වූවහුගේ ගුණ කියන්නේ වේ. නිශ්ශබ්ද වු පිරිසක් බව දැන මෙහි පැමිණිය යුතුයයි හැඟෙන්නේනම් ඉතා යෙහකැයි,’ (පිරිස සන්සුන් කෙළේය.) ඉක්බිති ඒ පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සකුළුදායි පරිව්‍රාජක තෙම යම් තැනකද එතැනට පැමිණියෝය. එකල්හි සකුළුදායි පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ වඩින සේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීම යහපත්ය. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මේ ආකාරය කළසේක. එනම් මෙහි වැඩම වීමෙනි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නා සේක්වා. මේ ආසනය පණවන ලදැයි, කීය. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද ආසනයෙහි වැඩහුන්සේක. සකුළුදායී පරිව්‍රාජක තෙමේද එක්තරා මිටි අස්නක් ගෙණ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාමවූ සකුළුදායී පරිව්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීහ.
“උදායීය, දැන් කවර කථාවකින් යුක්තව හුන්නාහුද තොපගේ කිනම් කථාවක් අඩාල වූවාද, යනුයි” ස්වාමීනි, අපි දැන් යම් කථාවකින් යුක්තව හුන්නමුද, ඒ කථාව තිබේවා. ස්වාමිනි, මේ කථාව භාග්‍යවතුන් වහන්සේට පසුවද ඇසීමට දුර්ලභ නොවන්නීය. ස්වාමීනි, මම යම් කලෙක මේ පිරිසට නොපැමිණියෙම්ද, එකල්හි මේ පිරිස නොයෙක් ආකාර තිරිසන් කථා කියමින් හුන්නීය.
ස්වාමීනි, යම් කලෙකින් මම මේ පිරිසට පැමිණියෙම්ද, එකල්හි මේ පිරිස මාගේ මුහුණම බලමින්, උදායීය, ‘ශ්‍රමණ තෙම අපට යමක් කියන්නේද අපි එය අසන්නෙමුයි’ හුන්නීවෙයි. ස්වාමීනි, යම්කලක භාග්‍යවතුන් වහන්සේ මේ පිරිසට පැමිණියේ වේද, එකල්හි මමද මේ පිරිසද භාග්‍යවතුන් වහන්සේගේම මුහුණ බලමින් භාග්‍යවතුන් වහන්සේ අපට යම් ධර්මයක් දේශනා කරන්නේද අපි එය අසන්නෙමුයි, හුන්නෝ වෙමුයි,” කීය.
“උදායීය, එසේවී නම් යම්සේ මට ධර්මදේශනාවට කරුණුකර ගැනීම සඳහා තොපිම එක් කාරණයක් ප්‍රකාශ කරව්.” “ස්වාමීනි ඊයේ පෙරේදා පළමුදා දවස්වල සර්වඥය, සියල්ල දක්නේය, යන්නාවූද සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේයයි, නිරවශෙෂ (ඉතිරි නැති) නුවණින් දැකීම ප්‍රකාශ කරන්නෙක් වීද මා විසින් අතීතය අරබයා ප්‍රශ්නයක් අසන ලද්දාවූ හෙතෙම අනිකකින් අනිකක් වසා කීයේය. කථාව පිටතට හැර වීය. කොපයද ද්වේෂයද නොසතුටු බවද පහළ කෙළේය. ස්වාමීනි, මට ඒ භාග්‍යවතුන් වහන්සේම අරබයා ප්‍රීතිය පහළවූයේය. යමෙක් මේ ධර්මයෙහි දක්ෂවූයේද ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතායහපත ඒ සුගතයන් වහන්සේ ඉතා යහපතැයි,”
“උදායීය, මේ කවරෙක් වනාහි සර්වඥය සියල්ල දක්නේය. යන්නාවූද සිටින්නාවූද නිදන්නාවූද නොනිදින්නාවූද මග නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේයයි, නිර්වශෙෂ ඥාන දර්ශනයක් ප්‍රකාශ කරන්නේ වීද, තොප විසින් අතීතය අරබයා ප්‍රශ්නයක් විචාරණ ලද්දේම අනිකකින් අනිකක් වසා කීයේ, කථාව බැහැර කෙළේ, කොපයද ද්වේෂයද නොසතුටද පහළ කෙළේ කවරෙක්ද?” “ස්වාමීනි, නිගණ්ඨ නාත පුත්‍ර තෙමේය”
“උදායීය, යමෙක් වනාහි අනෙකප්‍රකාරවූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරන්නේද, එනම් ජාති එකක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් සංවර්ත කල්පයක්ද, විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසවල් තැන වීම්, මෙනම් ඇත්තෙක් මේ ගොත්‍ර ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙමි. අසවල් තැන ඉපදුනෙමි. එහිද මෙනම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නේ වෙමි’යි මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ අනෙකප්‍රකාරවූ පෙරවිසූ භව පිළිවෙළ සිහිකරන්නේද, හෙතෙම මාගෙන් අතීතය අරබයා ප්‍රශ්න අසන්නේ, නම් මම පූර්ව කෙළවර අරබයා ඔහුගෙන්ද ප්‍රශ්න අසන්නෙමි. හෙතෙම පූර්ව කෙළවර අරබයා ප්‍රශ්න විසඳීමෙන් මාගේ සිත සතුටු කරන්නේ නම් මමද පූර්ව කෙළවර අරබයා ප්‍රශ්න විසඳීමෙන් ඔහුගේ සිත සතුටු කරන්නෙමි.
උදායීය, යමෙක් වනාහි පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද, සත්වයන් දකින්නේද මේ පින්වත් සත්වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්ත වූහ. වාග් දුශ්චරිතයෙන් යුක්ත වූහ. මනො දුශ්චරිතයෙන් යුක්ත වූහ. ආර්යයන් දොස් කියන්නෝ වූහ. මිථ්‍යා දෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වූහ. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු නපුරු ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය. හෙවත් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ. වාග් සුචරිතයෙන් යුක්ත වූහ. මනො සුචරිතයෙන් යුක්ත වූහ. ආර්යයන්ට දොස් නොකියන්නාහු. සම්‍ය දෘෂ්ටි ඇත්තෝ වූහ. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වූහ. ඔව්හු ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාවූ සත්වයන් දකින්නේද, පහත්වූද උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද කම්වූ පරිද්දෙන් පැමිණියාවූ සත්වයන් දැන ගන්නේද හෙතෙම අනාගතය අරභයා මගෙන් ප්‍රශ්න අසන්නේ නම් මමද අනාගතය අරභයා ඔහුගෙන් ප්‍රශ්න අසන්නෙමි. හෙතෙම අනාගතය අරබයා ප්‍රශ්න විසඳීමෙන් මාගේ සිත සතුටු කරන්නේ නම්, මමද අනාගතය අරබයා ප්‍රශ්න විසඳීමෙන් ඔහුගේ සිත සතුටු කරන්නෙමි. උදායීය, එතකුදු වුවත් අතීතය තිබේවා. අනාගතය තිබේවා, මෙය ඇතිකල්හි මෙය වෙයි. මොහුගේ ඉපදීමෙන් මෙය උපදියි. මෙය නැතිකල්හි මෙය නොවෙයි මොහුගේ නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධවේයයි, ධර්මය තොපට දේශනාකරන්නෙමි.