2. 3. 10.
වෙඛනස්ස සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ විසූහ. එකල්හි වෙඛනස්ස නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටුවියයුතු සිහිකටයුතු කථාකොට නිමවා එකත් පසක සිටියේය. එකත් පසක සිටියාවූ වෙඛනස්ස නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ‘මෙය පරම වර්ණය (උතුම්ම වර්ණය) වේ, මෙය පරම වර්ණය වේ’ යයි උදාන් ඇසුවේය.
“කච්චානය, නුඹ කුමක් හෙයින් ‘මෙය පරම වර්ණය වේ, මෙය පරම වර්ණය වේ’ යයි මෙසේ කියන්නෙහිද? කච්චානය, ඒ පරම වර්ණය කවරේද?”
“භවත් ගෞතමයන් වහන්ස, යම් වර්ණයකට වඩා ඉතා උතුම්වූද ඉතා ප්‍රණීතවූද අනික් වර්ණයක් නැත්තේද එය පරම වර්ණය වේයි.”
“කච්චානය, යම් වර්ණයකට වඩා උතුම්වූද උසස්වූද අනික් වර්ණයක් නැත්තේද ඒ වර්ණය කුමක්ද?”
“භවත් ගෞතමයන් වහන්ස, යම් වර්ණයකට වඩා ඉතා උතුම්වූද ඉතා උසස්වූද අනික් වර්ණයක් නැත්තේද එය පරම වර්ණය වේයි”
“කච්චානය යම් වර්ණයකට වඩා උතුම්වූද උසස්වූද අනික් වර්ණයක් නැත්තේනම් එය පරම වර්ණයයි කියන්නෙහි නම් තොපගේ මේ කීම දිගින් දිගට පැතිරෙන්නේය. ඒ වර්ණයද නොදක්වන්නෙහිය. කච්චානය, යම්සේ පුරුෂයෙක් ‘මම මේ ජනපදයෙහි යම් ජනපද කල්‍යාණියක් (රූපත් ස්ත්‍රීය) වේද, ඇය කැමැත්තෙමි ඇය පතමියි’ මෙසේ කියන්නේද, ඔහුට මෙසේ කියන්නාහුය. ‘පින්වත් පුරුෂය, නුඹ යම් ජනපද කල්‍යාණියක් කැමැත්තෙහිද පතන්නෙහිද, ඒ ජනපද කල්‍යාණිය ක්ෂත්‍රීය ස්ත්‍රීයක් හෝ බ්‍රාහ්මණ ස්ත්‍රීයක් හෝ වෛශ්‍ය ස්ත්‍රියක් හෝ ශුද්‍ර ස්ත්‍රීයක් හෝ වේයයි දන්නෙහිද?’ මෙසේ අසන ලද්දේ ‘නැතැයි’ කියන්නේය. ඔහුට ‘එම්බල පුරුෂය, නුඹ යම් ජනපද කල්‍යාණියක් කැමැත්තෙහිද පතන්නෙහිද නුඹ ජනපද කල්‍යාණි තොමෝ මෙනම් ඇත්තීයයි හෝ මෙබඳු ගොත්‍ර ඇත්තීයයි හෝ දන්නෙහිදැයි’ මෙසේ කියන්නාහුය. මෙසේ අසන ලද්දේ ‘නැතැයි’ කියන්නේය. ‘දික්වූ තැනැත්තියක් හෝ මිටි තැනැත්තියක් හෝ මධ්‍යම තැනැත්තියක් හෝ වේයයි, කලුපාට තැනැත්තියක් හෝ එලලුපාට තැනැත්තියක් හෝ දුඹුරුපාට ඇත්තියක් හෝ වේයයි දන්නෙහිද?’ යි මෙසේ අසන ලද්දේ ‘නැතැයි’ කියන්නේය. ‘අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ නගරයෙහි හෝ වූවායයි දන්නෙහිදැයි’ මෙසේ අසන ලද්දේ, ‘නැතැයි’ කියන්නේය. ඔහුට ‘එම්බල පුරුෂය, නුඹ යමක් නොදන්නෙහිද නොදක්නෙහිද, නුඹ එය කැමැත්තෙහිද, පතන්නෙහිදැයි’ මෙසේ කියන්නාහුය. මෙසේ අසන ලද්දේ ‘එසේයයි’ කියන්නේය. කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද? මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ කථාව හිස්වූවක් නොවන්නේද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඒකාන්තයෙන් එසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ කථාව හිස්වූවක් වේයයි’ කීය.
“කච්චානය, එසේම නුඹද යම් වර්ණයකට වඩා ඉතා උතුම්වූද ප්‍රණීතවූද අනික් වර්ණයක් නැත්තේ නම් එය උතුම් වර්ණයයි කියන්නෙහි නම්, ඒ වර්ණයද නොදක්වන්නෙහි නම් ඒ කථාවද එසේමය."
“භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යහපත්වූද, ජාතිමත්වූද අටැස් ඇත්තාවූ මනාව ඔපදමන ලද්දාවූ වෛඩූර්ය මාණික්‍යය පඩුවන් කම්බිලියෙහි බහන ලද්දේ බබලාද පැමිනියේද විශේෂයෙන් බබලාද, මෙබඳු වර්ණ ඇත්තාවූ ආත්මය තෙම මරණින් මත්තෙහි උවදුරු රහිතව පවත්නේය.”
“කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද, යහපත්වූ ජාතිමත්වූ අටැස් ඇත්තාවූ මනාව ඔපදමන ලද්දාවූ යම් වෛඩූර්ය මාණික්‍යයක් පඬුවන් කම්බිලියෙහි බහන ලද්දේ ආලෝක පැතිරේද, දිලිසේද විශේෂයෙන් බබලාද, ඝනාන්ධකාරවූ රාත්‍රියෙහි යම් කණාමැදිරියෙක් හෝ වේද, මේ වර්ණ දෙකින් කවර වර්ණයක් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතවූයේ වේද”?
“භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් මේ කණාමැදිරියෙක් වේද, මෙම මේ වර්ණ දෙක අතුරෙන් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතවූයේත් වේයි.”
“කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද? රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් කණාමැදිරියෙක් වේද, රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් තෙල් පහනක් හෝ වේද, මේ වර්ණ දෙකින් කවර වර්ණයක් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතවූයේත් වේද”?
“භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් මේ තෙල් පහනක් වේද, මෙය මේ වර්ණ දෙක අතුරෙන් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතදවූයේත් වෙයි.”
“කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද? රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් තෙල් පහනක් හෝ වේද, රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් මහ ගිනි කඳක් හෝ වේද, මේ වර්ණ දෙකින් කවර වර්ණයක් අතිශයින් බබලන්නේත් හෝ අතිශයින් ප්‍රණීතවූයේත්වේද?”
“භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් මේ මහ ගිනි කඳක් වේද මෙය මේ වර්ණය දෙකින් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතද වූයේත් වේයි”.
“කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද? රාත්‍රි ඝනාන්ධකාරයෙහි මහ ගිනිකඳක් හෝ වේද, රාත්‍රි අළුයම් කාලයෙහි දුරුවූ වැස්ස ඇති, පහව ගිය වලාකුල් ඇති අහසෙහි යම් ඕෂධී තාරකාවක් හෝ වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර වර්ණයක් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතවූයේත්වේද?”
“භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රි අළුයම් කාලයෙහි දුරුවූ වැස්ස ඇති පහවූ වලාකුල් ඇති අහසෙහි යම් මේ ඕෂධී තාරකාවක් වේද, මෙය මේ වර්ණ දෙකින් ඉතා බබලන්නේත් ඉතා ප්‍රණීතවූයේත් වෙයි”