2. 3. 8.
සමණ මණ්ඩික සූත්‍රය
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැසූහ. එකල්හි වනාහි සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගාහමාන නම් පරිව්‍රාජක තෙමෙ ආගම් පිළිබඳ කථා කරන්නාවූ තිඹිරි ගස්වලින් වටවූ හෙයින් තින්දුකාචීර නම්වූ මල්ලිකා දේවියගේ උයනෙහි කරවනලද හෙයින් මල්ලිකාරාම නම් එක සාලකනම් ශාලාවෙහි සත්සියයක් පමණවූ මහත් පරිව්‍රාජක පිරිසක් හා සමග වාසය කරයි.
එකල්හි (ආයුධ පසක් ඇතිහෙයින්) පඤ්චකංග නම් වඩුතෙම දවල් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත්නුවරින් නික්මුනේය. ඉක්බිති පඤ්චකංග නම් වඩුහට මෙබඳු සිතක් වූයේය. තවම භාග්‍යවතුන් වහන්සේ දැකීමට සුදුසු කල් නොවේ. භාග්‍යවතුන් වහන්සේ පලසම යුක්තවූයේ වෙයි. සිත වැඩීමෙහි යෙදුනාවූ භික්ෂූන් වහන්සේලාගේ ද දැකීමට මෙය කාලය නොවෙයි. සිත දියුණු කරන්නාවූ භික්ෂුහුද ධ්‍යානයන්ට සමවැදී වාසය කරති. මම සමයප්පවාදක නම්වූද තින්දුකාවීර නම්වූද මල්ලිකාරාම නම් වූද එකසාලක නම් ශාලාව යම් තැනද සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙම යම් තැනද එතැනට පැමිණෙන්නෙම් නම් යෙහෙකැයි යනුයි. ඉක්බිති පඤ්චකංග නම් ථපති තෙම සමයප්පවාදකවූද තින්දුකාචීර නම්වූද මල්ලිකාරාම නම්වූද එකසාලක නම්වූ ශාලාව යම් තැනෙක්හිද සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය.
එකල්හි වනාහි සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙම උස්හඬ ඇත්තාවූ මහත්හඬ ඇත්තාවූ අනෙක ප්‍රකාර තිරිසන් කථා කියන්නා මහත්කොට ශබ්ද කරන්නාවූ මහත්වූ පරිව්‍රාජක පිරිස සමග හුන්නේ වෙයි. එනම් රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, බීම් පිළිබඳ කථාය, වස්ත්‍ර පිළිබඳ කථාය, සයන පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය ගම් පිළිබඳ කථාය. මහගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, ජනපද පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, දිය ගෙනෙනතැන් පිළිබඳ කථාය, මියගියවුන් පිළිබඳ කථාය, නොයෙක් දේ පිළිබඳ කථාය, ලෝකය පිළිබඳ කථාය, සමුද්‍රය පිළිබඳ කථාය, දියුණුව, පිළිබඳ කථාය හානිය පිළිබඳ කථාය යන කථායි.
සමණමණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකතෙම එන්නාවූ පඤ්චකංග නම් වඩුවා දුරදීම දුටුයේය. දැක ස්වකීය පිරිස තැන්පත් කෙළේය. ‘පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා, පින්වත්නි, ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක්වූ පඤ්චකංග නම් වඩුතෙමේ එයි ශ්‍රමණ ගෞතමයන්ගේ ගිහිවූ සුදුවත් හඳින්නාවූ යම්තාක් ශ්‍රාවකයෝ සැවැත් නුවර වාසය කෙරෙත්ද, මේ පඤ්චකංග නම් ථපති තෙමේද ඔවුන්ගෙන් එක්තරා කෙනෙකි. ඒ ආයුෂ්මත්හු වනාහි ස්වල්ප ශබ්ද ඇත්තෝය. ස්වල්ප ශබ්ද ඇත්තවුන් විසින් හික්මවන ලද්දෝය. ස්වල්ප ශබ්ද ඇත්තවුන්ගේ ගුණ කියන්නෝය. ස්වල්ප ශබ්ද ඇති පිරිසකැයි සිතා මෙහි පැමිණීමට අදහස් කරන්නේ නම් මැනවයි” කියා පිරිස සන්සුන් කෙළේය. ඉක්බිති ඒ පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.
එකල්හි පඤ්චකංග නම් වඩුතෙම සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකයා සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ පඤ්චකංග නම් වඩුවාට සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගමාන නම් පරිව්‍රජාක තෙම මෙසේ කීයේය.
“ථපතිය, මම කරුණු සතරකින් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණවූ කුසල් ඇති උතුම්වූ කුසල් ඇති උත්තම පැමිණීමට පැමිණියාවූ වාද කොට සෙලවිය නොහැකි ශ්‍රමණයා යයි කියමි. කවර සතරකින්ද යත්? ථපතිය, මේ ලෝකයෙහි කයින් පව්කම් නොකෙරේද, ලාමකවූ වචන නොකියයිද, පවිටු වූ කල්පනා කල්පනා නොකෙරේද, ලාමකවූ ජීවිකාවෙන් ජීවිකාව නොකෙරේද, ථපතිය, මම වනාහි මේ කරුණු සතරින් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණ කුසල් ඇති උතුම් කුසල් ඇති උතුම් පැමිණීමට පැමිණියාවූ වාද කොට සෙලවිය නොහැකි ශ්‍රමණයායි ප්‍රකාශ කරමියි” කීය.
ඉක්බිති පඤ්චකංග නම් ථපති තෙම සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහ මාන නම් පරිව්‍රාජකයාගේ කීමට සතුටුද නොවිය. ප්‍රතික්ෂෙපද නොකෙළේය. සතුටු නොවී ප්‍රතික්ෂෙප නොකොට හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් මේ කියමනේ අර්ථය දැන ගන්නෙමියි. (සිතා) ගියේය. ඉක්බිති පඤ්චකංග නම් ථපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනා කොට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ පඤ්චකංග නම් ථපති තෙම සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක සමග කථාබහ යම් පමණ වීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට දැන්වූයේය. මෙසේ දැන්වූ කල්හි භාග්‍යවතුන් වහන්සේ පඤ්චකංග නම් වඩුවාට මෙසේ වදාළේය. ‘සමණ මණ්ඩිකා උග්ගහමාන නම් පරිව්‍රාජකයාගේ කීම පරිද්දෙන් ථපතිය, පුත්‍රවූ එසේ නම් ලදරුවූ බාලවූ උඩුකුරුවූ සයනය කරන කුමාර සම්පූර්ණ කුසල් ඇත්තෙක් උතුම්වූ කුසල් ඇත්තෙක් උතුම් පැමිණීමට පැමිණියෙක් වාද කොට සෙලවිය නොහැකි ශ්‍රමණයෙක් වන්නේය. ථපතිය, ලදරුවූ බාලවූ උඩුකුරුව සයනය කරන්නාවූ කුමාර තෙම වනාහි පව් කිරීමට තරම් ශරීරයක්ද නැත කෙසේනම් සෙලවීම් මාත්‍රය හැර කයින් පව්කම් කරන්නේද, ථපතිය, ළදරුවූ බාලවූ උඩුකුරුව සයනය කරන්නාවූ කුමාරයා හට වනාහි වචනයක්ද නැත. කෙසේ නම් හැඬීම පමණක් හැර වචනයෙන් ලාමක වචන කියන්නේද, ථපතිය, බාලවූ ළදරුවූ උඩුකුරුව සයනය කරන්නාවූ කුමාරයාහට කල්පනාවක්ද නැත. කෙසේනම් සිනාසීම් මාත්‍රයක් හැර පවිටු කල්පනා කල්පනා කරන්නේද, ථපතිය, ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ කුමාරයාහට වනාහි ජීවිකාවක්ද නැත. කෙසේනම් මවගේ කිරි බීම හැර ලාමකවූ ජීවිකාවෙන් ජීවිකාව කරන්නේද, ථපතිය, මෙසේ ඇති කල්හි වනාහි සමණමණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකයාගේ කීම පරිදි ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ කුමාරතෙම සම්පූර්ණ කුසල් ඇති උතුම්වූ කුසල් ඇති උතුම් පැමිණීමට පැමිණියාවූ වාදකොට ජය ගත නොහැකි ශ්‍රමණයෙක් වෙයි.
“ථපතිය, මම වනාහි කුසල් නැත්තාවූද උතුම් කුසල් නැත්තාවූද උතුම් පැමිණීමට නොපැමිණියාවූද වාදකොට සෙලවිය නොහැක්කාවූද තවද මේ ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ කුමාරයාට වඩා විශේෂවූ කරුණු සතරකින් යුක්තවූ සම්පූර්ණවූ පුරුෂ පුද්ගලයෙකු ප්‍රකාශ කරමි. “කවර සතරකින්ද යත්, ථපතිය, මේ ලෝකයෙහි කයින් පව්කම් නොකෙරේද, ලාමක වචන නොකියාද, ලාමකවූ කල්පනා කල්පනා නොකෙරේද, ලාමකවූ ජීවිකාවෙන් ජීවිකාව නොකෙරෙයිද, ථපතිය, මම වනාහි මේ කරුණු සතරින් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණ කුසල් නැත්තාවූද, උතුම් කුසල් නැත්තාවූද, උතුම් පැමිණීමට නොපැමිණියාවූද, වාදයෙන් සෙලවිය නොහැක්කාවූද, තවද ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ මේ කුමාරයාට වඩා විශේෂවූද ශ්‍රමණයෙකැයි ප්‍රකාශ කරමි.