2. 3. 6.
සන්දක සූත්රය
223. මා විසින් (මේ සූත්රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝොසිතාරාමයෙහි වාසය කළහ. එකල්හි වනාහි සන්දක නම් පරිව්රාජක තෙම පිලක්ඛ නම් ගුහායෙහි පන්සියයක් පමණවූ, මහත් පරිව්රාජක පිරිස සමග වාසය කරයි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියේ, භික්ෂූන්ට කථාකළහ. “ඇවැත්නි, යමු. දේවකටසොබ්භය (-වර්ෂාවෙන් සෑරුණු දියවිල) යම් තැනෙක්හිද එහි ගුහාව දැකීම පිණිස එළඹෙන්නෙමුයි” “ඇවැත්නි, එසේයයි” ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට උත්තර දුන්හ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බොහෝවූ භික්ෂූන් සමග දේවකටසොබ්භ නම් විල යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එකල්හි වනාහි සන්දක නම් පරිව්රාජක තෙම උස්හඬින්ද, මහහඬින්ද, නොයෙක් ප්රකාර තිරිසන් කතා කියමින් මහත් ශබ්ද පවත්වන්නාවූ මහත් පිරිවැජි පිරිස සමග හුන්නේ වෙයි. එනම්, රජුන් පිළිබඳ කතාය, සොරුන් පිළිබඳ කතාය, මහ ඇමැතියන් පිළිබඳ කතාය, සේනාවන් පිළිබඳ කතාය, භය පිළිබඳ කතාය, යුද්ධ පිළිබඳ කතාය, ආහාර පිළිබඳ කතාය, බොන දේ පිළිබඳ කතාය, ඇඳුම් පිළිබඳ කතාය, නිදන ආසන පිළිබඳ කතාය, මල්මාලා පිළිබඳ කතාය, සුවඳ පිළිබඳ කතාය, නෑයන් පිළිබඳ කතාය, රථ පිළිබඳ කතාය, ගම් පිළිබඳ කතාය, මහගම් පිළිබඳ කතාය, නගරයන් පිළිබඳ කතාය, ජනපද පිළිබඳ කතාය, ස්ත්රීන් පිළිබඳ කතාය, සූරයන් පිළිබඳ කතාය, වීථි පිළිබඳ කතාය, දියතොට පිළිබඳ කතාය, පූර්වඥාති ප්රේතයන් පිළිබඳ කතාය, නොයෙක් ස්වභාවයෙන් යුක්ත කතාය, ලෝකය පිළිබඳ ප්රකාශ වන්නාවූ කතාය, සමුද්රය පිළිබඳව ප්රකාශ වන්නාවූ කතාය ‘මෙසේ වන්නේය, මෙසේ නොවන්නේය’ යන මෙය පිළිබඳ කතාය යන මේවායි.
සන්දකනම් පරිව්රාජක තෙම එන්නාවූ ආනන්ද ස්ථවිරයන් දුරදීම දුටුයේය. දැක ස්වකීය පිරිස තැන්පත් කෙළේය. “පින්වත්නි, ශබ්ද නොකරව්, මේ ශ්රමණ ගෞතමයන්ගේ ශ්රාවකයන්වූ ශ්රමණවූ ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ පැමිණෙයි. යම්තාක්ම ශ්රමණ ගෞතමයන්ගේ ශ්රාවකයෝ කොසඹෑ නුවර වෙසෙත්ද, මේ ආනන්ද ශ්රමණ තෙමේ ඔවුන්ගෙන් එක්තරා කෙනෙක. ඒ ආයුෂ්මත්හු වනාහි නිශ්ශබ්ද බැව් කැමැත්තෝය. නිශ්ශබ්දවූ බුදුන් විසින් හික්මවන ලද්දාහුය. නිශ්ශබ්දභාවයාගේ ගුණ කියන්නෝය. ඒකාන්තයෙන් නිශ්ශබ්දවූ පිරිසක් බව දැන පැමිණිය යුතුයයි හඟින්නේයයි” කීය. ඉක්බිති පරිව්රාජකයෝ නිශ්ශබ්ද වූහ.
224. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ සන්දක නම් පරිව්රාජකයා යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. එකල්හි සන්දක නම් පරිව්රාජක තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “භවත් ආනන්ද තෙමේ පැමිණේවා. භවත් ආනන්ද ස්ථවිරයන්ගේ යහපත් ඊමෙකි. බොහෝ කලකින් භවත් ආනන්ද ස්ථවිර තෙමේ මේ ආකාරය කළේය. එනම් මෙහි පැමිණීමෙනි.
“පින්වත් ආනන්ද ස්ථවිර තෙමේ වැඩහිඳීවා මේ ආසනය පනවන ලදැයි” කීය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම පනවන ලද අස්නෙහි හුන්නේය. සන්දක නම් පරිව්රාජක තෙමේද එක්තරා මිටි අස්නක් ගෙණ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ සන්දක නම් පරිව්රාජකයාට ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මෙසේ කීය. “සන්දකය, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නහුද, තොපගේ කිනම් අතුරු කථාවක් නතර කරන ලද්දීද?” “භවත් ආනන්ද ස්ථවිරය, මේ කථාව තිබේවා. අපි යම් කථාවකින් යුක්තව දැන් හුන්නෙමුද, මේ කථාව භවත් ආනන්ද ස්ථවිරයන්ට පසුවද ඇසීමට දුර්ලභ නොවන්නීය. භවත් ආනන්ද ස්ථවිරයන්ටම ස්වකීය ආචාර්යවරයන්ගේ ඉගැන්වීමවූ දැහැමි කථාවක් වැටහේවා. එය මැනවැයි.” “සන්දකය, එසේ වීනම් අසව. යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි.” “එසේය, පින්වතුන් වහන්සැයි” සන්දක නම් පරිව්රාජක තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට උත්තර දුන්නේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මෙය වදාළේය.
“සන්දකය, ඒ දන්නාවූ දක්නාවූ සම්යක් සම්බුද්ධවූ භාග්යවතුන් වහන්සේ විසින් නුවණැති පුරුෂ තෙමේ යමක් ඒකාන්ත උතුම් හැසිරීමකැයි නොවසන්නාවූද වසන්නේ වී නමුත් සම්බන්ධය කුසල ධර්ම මාර්ගයයි, සිත් නොගන්නාවූද අබ්රහ්මචරිය වාස සතරක්ද අස් වැසීමක් නැති බ්රහ්මචරිය වාස සතරක්ද ප්රකාශ කරණ ලද්දාහ.”
“භවත් ආනන්ද ස්ථවිරයෙනි, දන්නාවූ දක්නාවූ සම්යක් සම්බුද්ධවු ඒ භාග්යවතුන් වහන්සේ විසින් යමක් නුවණ ඇති පුරුෂ තෙම බ්රහ්මචරියාවකැයි නොවසන්නේද වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සිත් නොගන්නේද එවැනි කවර නම් අබ්රහ්මචරියවාස සතරක් ප්රකාශ කරණ ලද්දාහුද”.
225. “සන්දකය මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් (ආගම් කතෘවරයෙක්) මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේවෙයි. ‘දන් දීමෙන් පලක් නැත. පූජා කිරීමෙන් පලක් නැත. පුද පඬුරු දීමෙන් පලක් නැත. යහපත් අයහපත් කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත පරලොව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත. මෙලොව වසන්නවුන්ගේ පරලොව ඉපදීමක් නැත. මවට කරණ හොඳ නරකවල විපාක නැත. පියාට කරන හොඳ නරකවල විපාක නැත. මළ පසු නැවතද උපදනා සත්වයෙක් නැත. යමෙක් තුමූ මේ ලෝකයද පරලෝකයද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්රකාශ කෙරෙත්ද, එබඳුවූ යහපත් මගට පැමිණියාවූ යහපත් මාර්ගයෙහි පිළිපන්නාවූ මහණ බමුණෝ ලෝකයෙහි නැත්තාහ. මේ පුරුෂතෙම සතර මහා භූතයන්ගෙන් හටගත්තාවූ යම් කලෙක මැරෙයිද එකල්හි ශරීරයේ පෘථිවි ධාතුව පිටත පෘථිවිධාතුවට එක්වෙයි. අනුව යයි. ආපොධාතුව ආපොධාතුවට එක්වෙයි. අනුව යයි. තෙජො ධාතුව තෙජො ධාතුවට එක්වෙයි. අනුව යයි. වායො ධාතුව වායො ධාතුවට එක්වෙයි. අනුව යයි. ඉන්ද්රියයෝ අහසට යත්. ඇඳ පස්වෙනි කොට ඇති පුරුෂයෝ මලහු ගෙනයත්. පින් කෙළේය පවු කෙළේ යන ගුණයද සොහොන දක්වා පමණක් පැනෙත්. පරෙවියන්ගේ පාටට බඳු පාට ඇති ඇට ඉතිරි වෙත්. දෙනලද දන්පුද අලුවලින් කෙලවර විය. දානය නම් මෝඩයන් විසින් පනවන ලද්දකි. යම් කිසිවෙක් කරණ ලද කර්මයෙහි විපාක ඇතැයි කියත්ද, එය ඔවුන්ගේ හිස්වූ මුසාවූ ප්රලාපයකි. බාලයෝත් පණ්ඩිතයෝත් ශරීරයාගේ භේදයෙන් සිඳෙත්, විනාශ වෙත්, මරණින් මත්තෙහි නොවෙත්යයි කියත්ද. “සන්දකය, එහි නුවණ ඇති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. දීමෙන් පලක් නැත. පූජා කිරීමෙන් පලක් නැත. පුද පඬුරු යැවීමෙන් පලක් නැත. කරණ ලද හොඳ නරක කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. පරලොව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත. මෙලොව වසන්නවුන්ගේ පරලොව ඉපදීමක් නැත. මවට කරන හොඳ නරකවල විපාක නැත. පියාට කරන හොඳ නරකවල විපාක නැත. මළ පසු උපදින්නෙක් නැත. යම් කෙනෙක් මේ ලෝකයද පරලෝකයද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්රකාශ කෙරෙත්ද? ලෝකයෙහි එබඳුවූ යහපත් මාර්ගයට පැමිණියාවූ මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ නැත්තාහුය. සතර මහා භූතයන්ගෙන් හටගත්තාවූ මේ පුරුෂ තෙම යම් කලෙක මැරෙයිද, එකල්හි ශරීරයේ පෘථිවි ධාතු පිටත පෘථිවි ධාතුවට එක්වෙයි. අනුව යයි. ආපො ධාතුව ආපොධාතුවට පැමිණෙයි. අනුව යයි. තෙජො ධාතුව තෙජො ධාතුවට එක්වෙයි. අනුව යයි.