2. 3. 5.
මාගන්දිය සූත්රය
207. මා විසින් (මේ සූත්රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කුරුජනපදයෙහි කම්මාස්සදම්ම නම්වූ කුරුවැස්සන්ගේ නියම් ගමෙහි භාරද්වාජගොත්ත නම්වූ බ්රාහ්මණයාගේ ගිනිපුදන ශාලාවෙහි තණ ඇතිරියෙක්හි වාසය කළහ. එකල්හි භාග්යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්රා සිව්රු රැගෙන කම්මාස්සදම්ම නම් ගමට පිණ්ඩපාතය පිණිස පැමිණියෝය. කම්මාස්සදම්ම නම් ගමෙහි පිඬු පිණිස හැසිර බතින් පසු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ එක්තරා වන ලැහැබක් යම් තැනෙක්හිද දවල් වාසය පිණිස එතැනට පැමිණියෝය. ඒ වනලැහැබට ඇතුල්ව එක්තරා ගසක් මුල දවල් වාසය කිරීමෙන් වැඩහුන් සේක.
ඉක්බිති මාගන්දිය නම් පරිව්රාජක තෙම (පාගමනින්) සක්මන් කරණු ලබන්නේ, හැසිරෙනු ලබන්නේ භාරද්වාජගොත්ත නම් බ්රාහ්මණයාගේ ගිනි පුදන ශාලාව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මාගන්දිය නම් පරිව්රාජක තෙම භාරද්වාජගොත්ත නම් පරිව්රාජිකයාගේ ගිනි පුදන ශාලාවෙහි පනවනලද තණ ඇතිරිය දුටුයේමය. දැක භාරද්වාජගොත්ත නම් බ්රාහ්මණයාට මෙය කීයේය. “පින්වත් භාරද්වාජගේ ගිනි පුදන ශාලාවෙහි ශ්රමණයෙකුගේ සයනයට සුදුසුවූවක් මෙන් පනවන ලද මේ තණ ඇතිරිය කවරෙකුටද?”
“පින්වත් මාගන්දිය, ශාක්යපුත්රවූ ශාක්ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්රමණ ගෞතම නම් කෙනෙක් ඇත්තේය. ඒ භාග්යවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙබඳු යහපත්වූ ගුණ ඝෝෂාවක් උස්ව නැංගේය. ඒ භාග්යවත් තෙම මේ කාරණයෙනුත් අර්හත්ය, සම්බුද්ධය, විද්යාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය, නිරුත්තරවූ පුරුෂයන් දමනය කිරීමෙහි සාර්ථ වාහකයෙකු බඳුය, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙක. චතුස්සත්ය අවබෝධ කෙළේය. සියලු කෙලෙසුන් දුරුකළ සේක යනුවෙනි. ඒ භවත් ගෞතමයන් වහන්සේට මේ සයනය පනවන ලද්දේය.” “පින්වත් භාරද්වාජය, යම්බඳු අපි ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නාවූ ඒ භවත් ගෞතමයන්ගේ සයනාසනය දුටුවෙමුද, ඒ අපි දැකීමට (නුසුදුසුවූවක්) දුටුවෙමුයි” කීය. “මාගන්දිය, මේ වචනය රැකගනුව, මාගන්දිය මේ වචනය රැකගනුව, ඒ භවත් ගෞතමයන්ගේ පිරිසිදු කරුණු වූ කුශල ධර්මයෙහි පැහැදුනාවූද, හික්මුණාවූද ක්ෂත්රීය පණ්ඩිතයෝද, බ්රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්රමණ පණ්ඩිතයෝද බොහෝ වෙත්යයි” කීය. “පින්වත් භාරද්වාජය, ඉදින් අපි ඒ භවත් ගෞතමයන් ඉදිරියෙහි දක්නෙමුද, ශ්රමණ ගෞතම තෙමේ ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නෙකැයි කියන්නෙමු, ඊට හේතු කවරේද, මෙසේ වනාහි අපගේ සූත්රයෙහි ඇතිහෙයිනි. ඉදින් භවත් මාගන්දිය හට එය බරක් නොවේ. නම්, ශ්රමණ ගෞතමයන් වහන්සේට මෙය කියන්නෙමියි,” (භාරද්වාජ තෙමේ කීය.) භවත් භාරද්වාජ තෙමේ මාරැකගැනීමට වෙහෙස නොවී මා කියනලද සේම කියවයි” කීය.
208. භාග්යවතුන් වහන්සේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පැවැත්තාවූ දිව්යවූ ශ්රොතෘ ධාතුවෙන් (දිවකණින්) භාරද්වාජහොත්ත නම් බ්රාහ්මණයාගේ මාගන්දිය නම් පරිව්රාජකයා සමගවූ මේ කථාව ඇසුවෝය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියේ භාරද්වාජගොත්ත නම් බ්රාහ්මණයාගේ ගිනි පුදන ශාලාව යම් තැනෙක්හිද, එතැනට පැමිණියහ. පැමිණ පනවනලද්දාවූම තණ ඇතිරියෙහි වැඩහුන්නේය. එකල්හි භාරද්වාජගොත්ත නම් බ්රාහ්මණ තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා, එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ භාරද්වාජගොත්ත නම් බ්රාහ්මණයාට භාග්යවතුන් වහන්සේ මෙය කීවාහුය. “භාරද්වාජය, මාගන්දිය පරිව්රාජකයා සමග මේ තණ ඇතිරිය අරබයා තොපගේ කිසියම් කතා බහක් වූයේද?” මෙසේ ඇසූ කල්හි භාරද්වාජගොත්ත නම් බ්රාහ්මණ තෙම ප්රීතියෙන් සංවෙගයට පැමිණියේ ලොමු ඩැහැ ගන්නා ලද්දේ භාග්යවතුන් වහන්සේට මෙය කීවේය. “අපි භවත් ගෞතමයන් වහන්සේට මෙයම කියනු කැමැත්තෝ වෙමු. එතකුදු වුවත් භවත් ගෞතමයන් වහන්සේ නොකීම කළහ.” භාග්යවතුන් වන්සේ භාරද්වාජගොත්ත නම් බමුණා සමග මේ අතුරු කථාව කොට අවසාන නොකෙළේද.’ එකල්හි මාගන්දිය පරිව්රාජකතෙම ගමනින් සක්මන් කරණු ලබන්නේ හැසිරෙනු ලබන්නේ භාරද්වාජගොත්ත නම් බමුණාගේ ගිනි පුදන ශාලාව යම් තැනෙක්හිද, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාවකොට නිමවා එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූම මාගන්දිය නම් පරිව්රාජකයාට භාග්යවතුන් වහන්සේ මෙය වදාළේය.
209. “මාගන්දිය ඇස වනාහි රූපය වාසස්ථාන කොට ඇත්තේය. රූපයෙහි ඇළුනේය. රූපයෙන් සතුටු වූයේය. තථාගතයන් වහන්සේ විසින් ඒ ඇස දමනය කරනලදී. භික්ෂුවගේ සංවරය පිණිසද, ධර්මය දේශනාකරති. මාගන්දියය, තොප විසින් ශ්රමණ ගෞතමතෙම ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නෙකැයි කියනලද්දේද මේ සඳහාද?” “භවත් ගෞතමයන් වසන්ස, මා විසින් මේ සඳහාම ශ්රමණ ගෞතම තෙමේ ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නෙකැයි කියන ලදී. ඊට හේතු කවරේද, මෙසේ වනාහි අපගේ සූත්රයෙහි ඇතුළත් වන හෙයිනි.
“මාගන්දියය, කණ වනාහි ශබ්දය (වාසස්ථාන) කොට ඇත්තේය. ශබ්දයෙහි ඇලුනේය, ශබ්දයෙන් සතුටුවිය. එය තථාගතයන් වහන්සේ විසින් ඒ කණ දමනය කරනලදී. රක්නාලදී සංවර කරනලදී. ඒ කණේද සංවරය පිණිස ධර්ම දේශනා කරති. මාගන්දිය, ශ්රමණ ගෞතම තෙම ඉන්ද්රියයන්ගේ වැඩීම් නසන්නෙකැ යන මෙය මේ සඳහා කියන ලද්ද?” “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් ශ්රමණ ගෞතම තෙම ඉන්ද්රියයන්ගේ වැඩීම් නසන්නෙකැයි මේ සඳහාම කියන ලදී. මෙසේ වනාහි අපගේ සූත්රයෙහි ඇතුළත්වන හෙයිනි.” “මාගන්දිය, නාසය වනාහි ගන්ධය අරමුණු කොට ඇත්තේය. ගන්ධයෙහි ඇලුනේය. ගන්ධයෙන් සතුටු විය. එය තථාගතයන් විසින් දමනය කරනලදී. ආරක්ෂා කරණලදී. සංවර කරනලදී. ඒ නාසයේද සංවරය පිණිස ධර්ම දේශනා කරති. මාගන්දියය, ශ්රමණ ගෞතමතෙම ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නෙක යන මෙය මේ සඳහා කියන ලදද?” “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් ශ්රමණ ගෞතම තෙම වැඩීම නසන්නෙකැයි මේ සඳහාම කියන ලදී. මෙසේ වනාහි අපගේ සූත්රයෙහි ඇතුළත්වන හෙයිනි.” “මාගන්දියය, දිව වනාහි රසය අරමුණු කොට ඇත්තේය. රසයෙහි ඇළුනේය. රසයෙන් සතුටුවිය. එම දිව තථාගතයන් විසින් දමනය කරනලදී. ආරක්ෂා කරනලදී. සංවර කරනලදී. ඒ ජිව්හාවගේද, සංවරය පිණිස ධර්මය දේශනා කරති. මාගන්දියය, ශ්රමණ ගෞතම තෙම ඉන්ද්රියන්ගේ වැඩීම් නසන්නෙක යන මෙය මේ සඳහා කියන ලදද?” “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් ශ්රමණ ගෞතම තෙම ඉන්ද්රියන්ගේ වැඩීම් නසන්නෙකැයි මේ සඳහාම කියනලද ඊට හේතු කවරේද, මෙසේ වනාහි අපගේ සූත්රයෙහි ඇතුළත්වන හෙයිනි.”
“මාගන්දිය, කය වනාහි ස්පර්ශය අරමුණුකොට ඇත්තේය. ස්පර්ශයෙහි ඇලුනේය. ස්පර්ශයෙන් සතුටුවිය එය තථාගතයන්වහන්සේ විසින් දමනය කරනලදී. ආරක්ෂා කරනලදී. සංවර කරනලදී. ශරීරයේද සංවරය පිණිස ධර්මදේශනා කරති. මාගන්දියය, ශ්රමණ තෙම ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නෙක යන මෙය මේ සඳහා කියන ලදද? භවත් ගෞතමයන් වහන්ස මා විසින් ශ්රමණ ගෞතම තෙම ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නෙකැයි මේ සඳහාම කියන ලදී. “මාගන්දියය, සිත වනාහි ධර්මාරමුණු ආරාමකොට ඇත්තේය. ධර්මාරම්මණයෙහි ඇළුනේය. ධර්මාරම්මණයෙහි සතුටුවූයේ වෙයි. සිත තථාගතයන් විසින් දමනය කරන ලදී. රක්ෂාකරන ලදී. සිතේ සංවරය පිණිස ධර්මය දේශනා කරයි. මාගන්දියය, තොප විසින් ශ්රමණ ගෞතම තෙම ඉන්ද්රියයන්ගේ වැඩීම් නසන්නෙක යන මෙය මේ සඳහා කියන ලදද?” “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් ශ්රමණ ගෞතම තෙම ඉන්ද්රියන්ගේ වැඩීම් නසන්නෙකැයි, මේ සඳහාම කියන ලදී. ඊට හේතු කවරේද, මෙසේ වනාහි අපගේ ඇතුළත් වන හෙයිනියි (කීයේය.)