2. 3. 4.
දීඝනඛ සූත්‍රය
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයෙහිවූ සූකරක්ඛත නම් ලෙණෙහි වාසය කළහ. එකල්හි දීඝ නඛ නම් පරිව්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටියාවූ දීඝනඛ නම් පරිව්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.
“භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි ‘සියල්ල මට රුචි නොවේය’ යන මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙමියි” කීය. “අග්ගිවෙස්සනය, ‘සියල්ල මට රුචි නොවේයයි’ තොපගේ යම් මේ දෘෂ්ටියක් වේනම් මේ දෘෂ්ටියද තොපට රුචි නොවේදැයි?” ඇසූහ. “භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ දෘෂ්ටිය මට රුචි වන්නේ නම් ඒ ‘සියල්ල මට රුචිනොවේ’ යන දෘෂ්ටියද එබඳුම වන්නේය.” “අග්ගිවෙස්සනය, යම් කෙනෙක් ‘එයද එබඳුම වන්නේය’ එයද එබඳුම වන්නේයයි’ කියමින් ඒ දෘෂ්ටිය අත්නොහැරම අනික් දෘෂ්ටියක් ගන්නාහුද ඔව්හුම ලෝකයෙහි ඉතා බොහෝ වෙත්. “අග්ගිවෙස්සනය, යම් කෙනෙක්, ‘එයද එබඳුම වන්නේය, එයද එබඳුම වන්නේයයි, කියමින් ඒ දෘෂ්ටියද දුරු කරමින් අනික් දෘෂ්ටියක්ද නොගන්නාහුද ඔව්හු ඉතා ස්වල්ප වෙත්.
“අග්නිවෙස්සනය, ‘සියල්ල මට රුචි වේයයි.’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝද ඇත්තාහ. අග්ගිවෙස්සනය, ‘සියල්ල මට රුචිනොවේයි,’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝද ඇත්තාහ. අග්ගිවෙස්සනය, ‘සමහරක් මට රුචි වේ. සමහරක් මට රුචි නොවේයි.’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණෝද ඇත්තාහ.
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය රාග වශයෙන් සසරට සමීපවෙයි. සංයෝජන වශයෙන් සසරට සමීපවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් සතුටුවීම් වශයෙන් සසරට සමීප වෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි ගිලීමෙන් සසරට සමීප වෙයි.
අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සියල්ල මට රුචි නොවේය.’ යන මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන්ගේ ඒ දෘෂ්ටිය සසර නොඇල්මට සමීපවේ. සසර නොබැඳීමට සමීපවේ. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් සතුටු නොවීමට සමීපවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි නොගිලීමට ආසන්න වෙයි.”
මෙසේ වදාළ කල්හි දීඝ නඛ නම් පරිව්‍රාජක තෙම, “භවත් ගෞතම තෙමේ මාගේ දෘෂ්ටිය උසස් කෙරෙයි. භවත් ගෞතම තෙමේ මාගේ දෘෂ්ටිය ඉතා උසස් කෙරේය”. භාග්‍යවතුන් වහන්සේට කීය.
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සමහරක් මට රුචිවෙයි. සමහරක් මට රුචි නොවේය’ යන මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි වේද, ඒ මේ දෘෂ්ටිය රාග වශයෙන් සසරට ළංවේ. සංයෝජන වශයෙන් සසරට ළංවේ. තණ්හා දිට්ඨි (ලෝභය හා වැරදි දැකීම්) වශයෙන් සසරට ළංවේ. තණ්හා දිට්ඨි දෙක්හි ගිලීමෙන් සසරට ළංවේ. යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි නොවේද ඒ දෘෂ්ටිය සසර නොඇලීමට ළංවේ. නොබැඳීමට ළංවේ. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සතුටු නොවීමට ළංවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි නොගිලීමට ළංවෙයි.
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, එහි නුවණ ඇති පුරුෂතෙම මෙසේ කල්පනා කරයි. ‘සියල්ල මට රුචිවේය’ යන යම් මේ මාගේ දෘෂ්ටියක් වේද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වශයෙන් අල්වාගෙන ඇතුලත්ව මෙයම සත්‍යය, අනික සිස්යයි ව්‍යවහාර කෙරෙම්ද, ඒ මට දෙයාකාරයකින් කොලාහල උපදින්නේය. යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සියල්ල මට රුචි නොවේයයි’. මෙබඳු වාද ඇත්තේද, මෙබඳු දෘෂ්ටි ඇත්තේද, යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සමහරක් මට රුචි වේ. සමහරක් මට රුචි නොවේයයි’ මෙබඳු වාද ඇත්තේ දෘෂ්ටි ඇත්තේත් වේද, මේ දෙයාකාරයෙන් මට කොළාහල උපදින්නේය. මෙසේ කොලාහලය ඇති කල්හි විරුද්ධ වචන කීම වන්නේය. විරුද්ධ වචන කීම ඇති කල්හි පහරදීම වන්නේය. පහරදීම ඇති කල්හි හිංසාව වන්නේය. මෙසේ හෙතෙම කොලාහලයද විවාදයද පහරදීමද හිංසාවද තමාට ඇතිවන බව දැන ඒ දෘෂ්ටියද දුරු කරයි. අනික් දෘෂ්ටියක්ද නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහානයවේ. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ මට සියල්ල රුචි නොවේයයි, මෙසේ වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන් අතුරෙන් නුවණ ඇති පුරුෂයෙක් තෙම මෙසේ සලකයි. ‘සියල්ල මට රුචි නොවේ යයි,’ මාගේ යම් මේ දෘෂ්ටියක් වේද, ඉදින් මම ‘මේ දෘෂ්ටිය මෙයම සත්‍යය, අනික සිස්යයි,’ දැඩි වශයෙන් අල්වාගෙණ ඇතුළත්ව වාසය කෙරෙම්ද, මට දෙයාකාරයකින් කොලාහල වන්නෝය. යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මට ‘සියල්ල රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේද, යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මට ‘සමහරක් රුචිවේ. සමහරක් මට රුචි නොවේයයි’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වේද, මේ දෙයාකාරයෙන් මට කලහය වන්නේය. මෙසේ කලහය ඇති කල්හි විවාදය වන්නේය. විවාදය ඇති කල්හි පහරදීම වන්නේය. පහරදීම ඇති කල්හි වෙහෙස වන්නේය.’ මෙසේ හෙතෙම කලහයද, විවාදයද, පහරදීමද, හිංසාවද, තමාට උපදින බව දකිමින් ඒ දෘෂ්ටියද හැරදමයි. අනික් දෘෂ්ටියක්ද අල්වා නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරු කිරීම වේ. මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෙක්, ‘සමහරක් මට රුචිවේ. සමහරක් මට රුචි නොවේයයි, මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටිය ඇත්තෝවේද එහි නුවණ ඇති පුරුෂයෙක් තෙම මෙසේ සලකයි, ‘සමහරක් මට රුචිවේ, සමහරක් මට රුචි නොවේයයි, මාගේ යම් මේ දෘෂ්ටියක් වේද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩිවශයෙන් අල්වාගණී. වැදගෙණ මෙයම සත්‍යය අනික සිස්යයි, ව්‍යවහාර කෙරෙම්ද, මට දෙයාකාරයකින්, කලහය වන්නේය,’ යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේද, යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සියල්ල මට රුචි නොවේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේත් වේද, මේ දෙයාකාරයෙන් මට කොලහලය වන්නේය. මෙසේ කොලහලය ඇතිකල්හි විරුද්ධ වචන වන්නේය, විරුද්ධ වචන ඇතිකල්හි පහරදීම වන්නේය. පහරදීම ඇතිකල්හි හිංසාව වන්නේය, මෙසේ හෙතෙම කලහයද විවාදයද පහරදීමද හිංසාවද තමාට උපදින බව දකිමින් ඒ දෘෂ්ටියද දුරු කරයි, අනික් දෘෂ්ටියක්ද අල්වා නොගණියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහානය වේ. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ,