2. 3. 3.
මහා වච්ඡගොත්ත සූත්‍රය
193. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වාසය කළහ. එකල්හි වච්ඡගොත්ත නම් පරිව්‍රාජකතෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූම, වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.
“මම භවත් ගෞතමයන් වහන්සේ හා බොහෝ කලක් කළ කථා ඇත්තේ වෙමි. භවත් ගෞතම තෙමේ මට කොටින් කුසල් හා අකුසල් දේශනා කරත්වා.”
“වච්ඡය, මම තොපට කොටින්ද කුසල් අකුසල් දේශනා කරන්නෙමි. වච්ඡය, මම තොපට විස්තර වශයෙන්ද කුසල් අකුසල් දේශනා කරන්නෙමි. වච්ඡය, එතකුදු වුවත් මම තොපට කොටින් කුසල් අකුසල් දේශනා කරන්නෙමි. එය අසව. යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය.
“එසේය පින්වතුන් වහන්සැ”යි වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
194. “වච්ඡය, ලෝභය වනාහි අකුසල්ය, අලෝභය කුසල්ය, වච්ඡය, ද්වේෂය වනාහි අකුසල්ය, අද්වේෂය කුසල්ය වච්ඡය, මෝහය වනාහි අකුසල්ය, අමෝහය කුසල්ය. වච්ඡය මෙසේ මේ ධර්ම තුන අකුසල් වෙත්. මේ ධර්ම තුන කුසල් වෙත්. “වච්ඡය, සතුන් මැරීම අකුසල්ය, සතුන් මැරීමෙන් වැලකීම කුසල්ය. වච්ඡය සොරකම් කිරීම අකුසල්ය, සොරකම් කිරීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, කාමයන්හි වරදවා හැසිරීම අකුසල්ය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය; බොරුකීම අකුසල්ය; බොරු කීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, කේලාම් කීම අකුසල්ය; කේලාම් කීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, ඵරුෂ වචන කීම අකුසල්ය, ඵරුෂ වචන කීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, හිස්බස් කීම අකුසල්ය, හිස්බස් කීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, දැඩි ලෝභය අකුසල්ය; දැඩි ලෝභය නැතිවීම කුසල්ය. වච්ඡය, අනුන් නැසෙත්වායි සිතීම අකුසල්ය, අනුන් නැසෙත්වායි නොසිතීම කුසල්ය. වච්ඡය, මිථ්‍යා දෘෂ්ටිය අකුසල්ය, සම්‍යක් දෘෂ්ටිය කුසල්ය. වච්ඡය, මෙසේ වනාහි මේ ධර්ම දසය අකුසල් වෙත්. මේ ධර්ම දසය කුසල් වෙත්.
“වච්ඡය, යම්හෙයකින් වනාහි භික්ෂූහුගේ තෘෂ්ණාව ප්‍රහීණවූවා සිඳිනලද මුල් ඇත්තී මුදුන සුන්කළ තල්ගස මෙන් කරණ ලද්දී, විනාශ කරණ ලද්දී මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තී වේද, ක්ෂයවූ ආශ්‍රව ඇති, වැස නිමවන ලද බ්‍රහ්මචර්යාව ඇති, කරණ ලද කටයුතු ඇති, බහා තබනලද ස්කන්ධභාරය ඇති, පිළිවෙළින් පැමිණියාවූ අර්හත්වය ඇති, නැතිකළාවූ භවසංයෝජනය ඇති, මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ, ඒ භික්ෂුතෙම රහත්වූයේ වෙයි.”
195. “භවත් ගෞතමයන් හැර භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකවූ එක භික්ෂුවකුත් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරේද?”
“වච්ඡය මාගේ ශ්‍රාවකවූ යම් භික්ෂූහු ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ මනානුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරෙත්ද, ඔව්හු එක්සියයක්ද නොවෙයි. දෙසියයක්ද නොවෙයි. තුන්සියයක්ද නොවෙයි. හාරසියයක්ද නොවෙයි. පන්සියයක්ද නොවෙයි. බොහෝ වූවාහුම වෙත්.”
“භවත් ගෞතමයන්ද හැර, භික්ෂූන්ද හැර, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවූ එකභික්ෂුණියකුත් ආශ්‍රවයන් ක්ෂයකිරීමෙන් අනාශ්‍රවවූ අර්හත්ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ මනානුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරේද?”
“වච්ඡය, මාගේ ශ්‍රාවිකාවූ යම් භික්ෂුණීහු ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවවූ අර්හත්ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ මනානුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරෙත්ද, ඔව්හු එක්සියයක්ම නොවෙයි. දෙසියයක් නොවෙයි. තුන්සියයක් නොවෙයි. හාරසියයක් නොවෙයි. පන්සියයක් නොවෙයි. බොහෝ වූවාහුම වෙත්.”
“භවත් ගෞතමයන්ද හැර, භික්ෂූන්ද හැර, භික්ෂුණීන්ද හැර ගෘහස්ථවූ සුදු වස්ත්‍ර හඳනාවූ බ්‍රහ්මචාරීවූ ඔරම්භාගිය සංයෝජන පස නැතිකිරීමෙන් ඔපපාතික ඉපදීම ඇත්තාවූ එහිදී පිරිනිවීම ඇත්තාවූ ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තාවූ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකවූ එක උපාසකයෙකුත් ඇත්තේද?”
“වච්ඡය, ශ්‍රාවකවූ ගෘහස්ථවූ සුදුවත් හඳනාවූ බඹසර ඇත්තාවූ ඔරම්භාගිය සංයෝජන පස නැසීමෙන් ඔපපාතිකවූ එහි පිරිනිවීම ඇත්තාවූ ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තාවූ යම් උපාසකයෝ වෙත්ද, ඔව්හු එක් සියයක්ම නොවෙයි. දෙසියයක් නොවේ. තුන්සියයක් නොවේ. හාරසියයක් නොවේ. පන්සියයක් නොවේ. බොහෝ වූවාහුම වෙත්.”
“භවත් ගෞතමයන් හැර භික්ෂූන්ද හැර භික්ෂුණීන්ද හැර ගෘහස්ථවූ සුදුපිළි සඳනාවූ බ්‍රහ්මචාරීවූ උපාසකයන්ද හැර භවත් ගෞතමයන් වහන්සේගේ ගිහිවූ සුදු වස්ත්‍ර සඳනාවූ කම්සැප අනුභවකරන්නාවූ අනුශාසනාව කරන්නාවූ අවවාදයට අනුව පිළිපදින්නාවූ, විචිකිච්ඡාව දුරුකළාවූ පහවූ සැකය ඇති, විසාරද බවට පැමිණියාවූ ශාස්තෘශාසනයෙහි අන්‍ය ශාස්තෘවරයන්ගේ පිහිට නොසොයන එක උපාසකයෙකුත් ඇත්ද?”
“වච්ඡය, මාගේ ශ්‍රාවකවූ ගිහිවූ සුදුපිළි සඳනාවූ කම්සැප අනුභව කරන්නාවූ අනුශාසනාව කරන්නාවූ අවවාදය පිළිපදින්නාවූ නැති කළ විචිකිච්ඡාව ඇත්තාවූ පහකළ සැකය ඇත්තාවූ විසාරද බවට පැමිණියාවූ ශාස්තෘශාසනයෙහි අන් පිහිට නොසොයන්නාවූ යම් ඒ උපාසකයෝ වාසය කෙරෙත්ද, ඔව්හු එක්සියයක්ම නොවෙයි. දෙසියයක් නොවෙයි. තුන්සියයක් නොවෙයි. සාරසියයක් නොවෙයි. පන්සියයක් නොවෙයි. බොහෝ වූවාහුමැයි.”