2. 2. 9.
ගුලිස්සානි සූත්‍රය
173. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වෙළුවනයෙහි කලන්දක නිවාප නම් තැන වාසය කළහ. ඒ කාලයෙහි වනාහි වනයෙහි වසන ගොරෝසු පැවතුම් ඇති ගුලිස්සානි භික්ෂුව කිසියම් කටයුත්තක් නිසා සඟ මැදට පැමිණියේ වෙයි. ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගුලිස්සානි භික්ෂුව අරභයා (-කරුණු කොට) භික්ෂූන්ට කථා කළහ.
“ඇවැත්නි, සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ගෞරව සහිතයකු, බුහුමන් සහිතයකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව විසින් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ගෞරව නැත්තෙකු, බුහුමන් නැත්තෙකු වෙයිද, ‘යම් මේ ආයුෂ්මතෙක් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි, ගෞරව නැත්තේද, බුහුමන් නැත්තේද ඔහුට ‘වනයෙහි වාසය කරණ ඒ මේ ආයුෂ්මත්හුගේ තනිව කැමතිසේ වනයෙහි වාසය කිරීමෙන්, කවර ප්‍රයෝජනයක් දැයි’ කියන්නෝ වෙත්, එබැවින් සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව විසින් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි, ගෞරව සහිතයකු, බුහුමන් සහිතයකු විය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් ‘මෙසේ ස්ථවිර භික්ෂූන් ගටා (-තදකොට) නොහිඳින්නෙමි. නවක (-අලුත්) භික්ෂූන් ආසනයෙන් අස් නොකරන්නෙමියි’ ආසන දැනීමෙහි දක්ෂයෙකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව ආසන දැනීමෙහි දක්ෂයෙකු නොවෙයිද, ‘යම් මේ ආයුෂ්මතෙක් වත් පිළිවෙත් නොදන්නේද, ඔහුට වනයෙහි වාසය කරණ මේ ආයුෂ්මත්හුගේ තනිව කැමතිසේ වනයෙහි වාසය කිරීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව විසින් ආසන දැනීමෙහි දක්ෂයෙකු විය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් ඉතා කලින් ගමට නොයායුතු, ඉතා දවල් පෙරළා නොආ යුතුයි. ඇවැත්නි, ඉඳින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව ඉතා කලින් ගමට යයිද, ඉතා දවල් ආපසු එයිද, ඔහුට ‘ඉතා කලින් ගමට යයි. ඉතා දවල් ආපසු එයි. වනයෙහි වාසයකරණ මේ ආයුෂ්මත්හුගේ තනිව කැමතිසේ වනයෙහි වාසය කිරීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් ඉතා කලින් ගමට නොයායුතුයි. ඉතා දවල් ආපසු නොආ යුතුයි.
“ඇවැත්නි, සංඝයාට, අයත්, සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් පෙරවරුද පස්වරුද ගෙවල්වල ඇවිදීමට නොපැමිණිය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව පෙරවරුද පස්වරුද ගෙවල්වල ඇවිදීමට පැමිණෙයිද, ඔහුට ‘වනයෙහි වසන තනිව වනයෙහි කැමතිසේ වසන මේ ආයුෂ්මත්හුගේ නොකල්හි හැසිරීම වැඩි වශයෙන් කරණ ලදී. සංඝයා මැදට පැමිණි ඔහුටද එසේ ව්‍යවහාර කරන්නේය’යි කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව විසින් පෙරවරුද පස්වරුද ගෙවල්වල ඇවිදීමට නොපැමිණිය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව නොසන්සුන් නොවූවෙකු චපල නොවූවකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව නොසන්සුන් වූවෙක් චපලවූවෙක් වෙයිද, ඔහුට ‘වනයෙහි වසන තනිව වනයෙහි කැමතිසේ වසන මේ ආයුෂ්මත්හුගේ නොසන්සුන් බව හා චපල බව වැඩිව කරණ ලදැයි’ කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව නොසන්සුන් නොවූවකු, චපල නොවූවකු විය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව රළු වචන නැත්තෙකු විසිර ගිය වචන නැත්තෙකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන, වනයෙහි වසන භික්ෂුව, රළු වචන කියන්නෙක් විසිරුණු වචන කියන්නෙක් වෙයිද, ‘යම් මේ ආයුෂ්මත්තෙමේ රළු වචන කියන්නෙක විසුරුණු වචන කියන්නෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව රළු වචන නැත්තෙකු, විසිර ගිය වචන නැත්තෙකු විය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව සුවචවූවකු, යහපත් මිතුරන් ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව දුර්වචයෙක් පවිටු මිතුරන් ඇත්තෙක් වෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත් තෙමේ දුර්වචයෙක පවිටු මිතුරන් ඇත්තෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නාහු වෙත්. එබැවින් සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව සුවචවූවකු යහපත් මිතුරන් ඇත්තකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව ඉඳුරන්හි වසනලද දොර ඇත්තකු වියයුතුයි. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව ඉඳුරන්හි නොවසනලද දොර ඇත්තෙක් වෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ ඉඳුරන්හි නොවසන ලද දොර ඇත්තෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එබැවින් වනයෙහි වසන භික්ෂුව ඉඳුරන්හි වසනලද දොර ඇත්තකු විය යුතුයි.