2. 2. 10.
කීටාගිරි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂු සංඝයා සමග කසී ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නෝය. එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ. “මහණෙනි, මම රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරමි. ඒ රාත්‍රි භෝජනයෙන් වෙන්ව අනුභව කරන්නාවූ මම ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කාය බලයද, සැප විහරණයද ඇති බව දනිමි. මහණෙනි, තොපිද එව, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරව්, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාවූ තොපිද ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කායබලයද, සැපවිහරණයද දන්නාහුය.” “එසේය පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කසී ජනපදවල පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් කීටාගිරි නම් කසී රට වැස්සන්ගේ නියම් ගම යම් තැනකද, එහි වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කසී රට වැස්සන්ගේ නියම් ගමවූ කීටාගිරියෙහි විසුවාහ.
ඒ කාලයෙහි අස්සජී - පුනබ්බසුක නම් භික්ෂූහු කීටාගිරියෙහි ආවාසිකයෝ වෙත්. එකල්හි බොහෝ භික්ෂූහු අස්සජී පුනබ්බසුක භික්ෂූන් යම් තැනකද එහි පැමිණියාහුය. පැමිණ අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට මේ කාරණය කීවාහුය. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරති. රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද ඇති බව දනිත්. ඇවැත්නි, තොපිද එව්. රාත්‍රි භොජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරණ යුෂ්මත්හුද, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇතිබවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද සැප විහරණයද, ඇති බව දැනගනිත්වා.” මෙසේ කී කල්හි අස්සජී පුනබ්බසුක භික්ෂූහු ඒ භික්ෂූන්ට මෙසේ කීවාහුය. “ඇවැත්නි, අපි සවස් කාලයෙහිද අනුභව කරමු. උදේද අනුභව කරමු. දවල් කාලයෙහිද අනුභව කරමු. ඒ උදේද, සවසද, දවල්ද නොකල්හිද අනුභව කරණ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැපවිහරණයද දනිමු. ඒ අපි අත්දුටු කරුණු හැර ඉදිරි කල පැමිණිය යුතු ප්‍රයෝජනයට කුමට දුවමුද? අපි සවසද, පෙරවරුද, දවල් නොකල්හිද අනුභව කරමු”යි කීහ. යම් හෙයකින් ඒ භික්ෂූහු අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට ඒ කරුණ අවබෝධ කරවන්ට නොහැකි වූවාහුද, ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීවාහුය.
“ස්වාමීනි, අපි අස්සජී පුනබ්බසුක භික්ෂූහු යම් තැනෙක්හිද එහි පැමිණියෙමු. පැමිණ, අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට මේ කරුණු කීවෙමු. ‘භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරති. රාත්‍රි භෝජනයෙන් තොරව අනුභවකරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියවු පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිත්. ඇවැත්නි, යුෂ්මත්හුද එව්. රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරණ යුෂ්මත්හුද ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇතිබවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිව් (කියායි.) “ස්වාමීනි, මෙසේ කී කල්හි අස්සජී පුනබ්බසුක භික්ෂූහු අපට මේ කරුණ කීවාහුය. ‘ඇවැත්නි, අපි සවසද, උදේද, දවල්, නොකල්හිද අනුභව කරමු. සවසද, උදේද, දවල් නොකල්හිද අනුභව කරණ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇතිබවද, පහසු ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිමු. ඒ අපි දත් කරුණ හැර ඉදිරි කල පැමිණිය යුතු ප්‍රයෝජනයට කුමට දුවමුද? අපි සවසද, උදේද, දවල් නොකල්හිද, අනුභව කරමු’යි කීවාහුය. ස්වාමීනි, අපි යම් හෙයකින් අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට ඒ කරුණු අවබෝධ කරවන්ට නොහැකිවූමුද එහෙයින් අපි මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දන්වමුයි කීහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට කථා කළහ. “මහණ, මෙහි එව්. “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවත්යයි මාගේ වචනයෙන් අස්සජී පුනබ්බසුක භික්ෂූන් කැඳවව.” “එසේය, පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී, අස්සජී පුනබ්බසුක භික්ෂූන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. එහි පැමිණ, “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවත්යයි,” අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට කීය. “එසේය, ඇවැත්නියි” අස්සජී පුනබ්බසුක භික්ෂූහු ඒ භික්ෂුවට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එහි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් තැනෙක හුන්නාහුය. එක් තැනෙක හුන් අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, සැබෑද? බොහෝ භික්ෂූහු තොප වෙත පැමිණ මේ කරුණ කීවාහුද? ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂු සංඝයා රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරති. ඇවැත්නි, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැපවිහරණයද ඇති බව දනිත්. ඇවැත්නි, යුෂ්මත්හුද එව්. රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, යුෂ්මත්හුද රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැපවිහරණයද, දැනගන්නාහුයයි (කියායි) “මෙසේ කී කල්හි තොපි ඒ භික්ෂූන්ට මෙසේ කීවාහුද? ‘ඇවැත්නි, අපි සවසද, උදේද, දවල් විකාලයෙහිද අනුභව කරමු. පස්වරුද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරන්නාවූ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, කාය බලයද, සැපවිහරණයද දන්නෙමු. ඒ අපි අත් දුටු කරුණ හැර ඉදිරියට ඇති ප්‍රයෝජනය ගැණ කුමට දුවමුද? අපි පස්වරුද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරමුය”යි (කීවාහුද) “එසේය, ස්වාමීනි”
“මහණෙනි, ‘පුද්ගලයෙක් යම්කිසි සැපක් හෝ දුකක් හෝ සැප දුක් නොවූවක් හෝ විඳීද, ඔහුගේ අකුශල ධර්ම පිරිහෙත්, කුශල ධර්ම වැඩෙත්ය’යි මෙසේ මා විසින් දෙසනලද ධර්මයක් තොපි දනිව්ද? “ස්වාමීනි, එසේ නොදනිමු.” “මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැපවේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්. මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින “ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්. මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වේදනාව විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වේදනා විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්යයි මා විසින් දෙසනලද ධර්මයක් තොපි දන්නාහු නොවෙත්ද?” “එසේය, ස්වාමීනි,”