2. 2 .8
නළකපාන සූත්‍රය
මාගේ ඇසීම මෙසේය. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි නලකපාන නම් ගමේ කෑල (-එරබඳු) වනයෙහි වාසය කළහ. ඒ කාලයෙහි බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කුල පුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු වෙත්. ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් නන්දිය, ආයුෂ්මත් කිම්බිල, ආයුෂ්මත් භගු, ආයුෂ්මත් කුණ්ඩධාන, ආයුෂ්මත් රෙවත, ආයුෂ්මත් ආනන්ද (සහ) වෙනත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කුල පුත්‍රයෝ වෙත්.
ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් විසින් පිරිවරණ ලද්දේ හිස් තැනෙක වැඩහුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කුල පුත්‍රයන් අරබයා භික්ෂූන්ට කථාකොට, “මහණෙනි, යම් ඒ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, සස්නෙහි පැවිදි වූවාහුද, මහණෙනි, කිම ඒ භික්ෂූහු බ්‍රහ්මචර්යාවෙහි ඇලුනාහුද?” මෙසේ කීකල්හි ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ. දෙවෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ ඒ කුල පුත්‍රයන් අරබයා භික්ෂූන්ට, කථාකොට, “මහණෙනි, යම් ඒ කුල පුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහුද, මහණෙනි, කිම ඒ භික්ෂූහු බ්‍රහ්මචර්යාවෙහි ඇලුනාහුද” දෙවෙනි වරත් ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ. තුන්වෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ ඒ කුලපුත්‍රයන් උදෙසා භික්ෂූන්ට කථාකොට, “මහණෙනි, යම් ඒ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූවාහුද මහණෙනි, කීම ඒ භික්ෂූහු බ්‍රහ්මචර්යාවෙහි ඇලුනාහුද? තුන් වන වරත් ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට, මම ඒ කුලපුත්‍රයන්ගෙන්ම අසන්නෙම් නම් යෙහෙකැයි අදහස් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට කථා කළහ. “අනුරුද්ධයෙනි, කිම තොපි බ්‍රහ්මචර්යාවෙහි ඇලුනාහුද?” “ස්වාමීනි, ඒකාන්තයෙන්ම අපි බ්‍රහ්මචර්යාවෙහි ඇලුනෝ වමු” “අනුරුද්ධයෙනි, යහපත, යහපත, අනුරුද්ධයෙනි, තොපි බ්‍රහ්මචර්යාවෙහි කැමතිවන්නාහු නම් එය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදිවූ තොප වැනි කුලපුත්‍රයන්ට, සුදුසුය. අනුරුද්ධයෙනි, හොඳ තරුණවයසින් යුත්, මුල් වයසෙහි සිටි, තරුණවූ කලු කෙස් ඇති යම්බඳු තොපි කම්සැප අනුභව කරන්නෝ වෙත්ද, අනුරුද්ධයෙනි, හොඳ තරුණ වයසින් යුත්, මුල්වයසෙහි සිටි, තරුණවූ කලුකෙස් ඇති, ඒ තොපි ගිහිගෙන් නික්ම සස්නෙහි නොපැවිදි වූවාහුය, අනුරුද්ධයෙනි, තොපි රජුන්ට බයව පැනගොස් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති, සොරුන්ට බයව පැනගොස් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූවාහු නොවෙති, ණයෙන් පීඩාවී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති, බයෙන් පීඩාවී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති. ජීවත්වන්ට නොහැකිව ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූවාහු නොවෙති. එතකුදුවුවත්: ‘ඉපදීමෙන්, ජරාමරණ දෙකින් සොකයන්ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුක්ත වූයෙමි, දුකට බැසගතිමි, දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාශියේ අවසානය දක්ක හොත් යෙහෙකැ’යි, අනුරුද්ධයෙනි, මෙසේ තොපි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙත්ද?” “එසේය, ස්වාමීනි.” “අනුරුද්ධයෙනි, මෙසේ පැවිදිවූ කුලපුත්‍රයා විසින් කුමක්
කළ යුතු වන්නේද? අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශලධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීති සැපයට හෝ නොපැමිණෙයිද, ඊට වඩා උසස් අනික් සැපයකට නොපැමිණෙයිද, ලෝභයද ඔහුගේ සිත මැඩගෙන සිටියි. ව්‍යාපාදයද ඔහුගේ සිත මැඩගෙන සිටියි, ථීනමිද්ධයද ඔහුගේ සිත මැඩගෙන සිටී, උද්ධච්ච කුක්කුච්චයද, ඔහුගේ සිත මැඩගෙන සිටී, විචිකිච්ඡාවද, ඔහුගේ සිත මැඩගෙන සිටියි. නොඇල්මද ඔහුගේ සිත මැඩගෙන සිටී. අලසකමද, ඔහුගේ සිත මැඩගෙණ සිටියි. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශලයන්ගෙන් වෙන්ව ප්‍රීති සැපය හෝ එයින් අන්‍යවූ සැපයක් හෝ නොලබන්නේ නම් මෙසේ වන්නේය. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීතිසැපයට හෝ පැමිණේද, ඊට වඩා උසස් අනික් සැපයකට හෝ පැමිණේද, ඔහුගේ සිත ලෝභයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත ව්‍යාපාදයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත ථීනමිද්ධයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත උද්ධච්ච කුක්කුච්චයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත විචිකිච්ඡාවෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත නොඇල්මෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත අලසබවෙන් අල්වාගෙණ නොසිටී. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීති සැපයට හෝ පැමිණෙයිද, ඊට වඩා උසස් සැපයකට හෝ පැමිණෙයිද ඔහුට මෙසේ වන්නේය.
“අනුරුද්ධයෙනි, කිමද? කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ පීඩා සහිත, දුක් විපාක ඇති, නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ, යම් ආශ්‍රවයෝ (වෙත්ද) තථාගතයන් වහන්සේගේ ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ නොවූවාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරුකළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි.” කියා මා කෙරෙහි තොපි මෙසේ සිතව්ද?
“ස්වාමීනි, කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ පීඩා සහිත, දුක් විපාක ඇති, නැවත ඉපදීම, ජරාව, මරණය ඇතිකරණ යම් ආශ්‍රවයෝ (වෙත්ද) තථාගතයන් වහන්සේගේ ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ නොවූවාහු වෙත්, එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරු කළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි කියා තථාගතයන් වහන්සේ කෙරෙහි අපට එබඳු සිතක් නැත.
“ස්වාමීනි, කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත දුක් විපාක ඇති, නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ, යම් ආශ්‍රවයෝ වෙත්ද, තථාගතයන් වහන්සේගේ ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ වූවාහු වෙත්. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරුකළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳිය යුතු කොටස දැන සංසිඳවයි.” භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මේ අදහස් වන්නේය. “අනුරුද්ධයෙනි, යහපත, යහපත, අනුරුද්ධයෙනි, කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත දුක් විපාක ඇති, නැවත ඉපදීම, ජරාව, මරණය ඇතිකරණ, යම් ආශ්‍රවයෝ වූවාහුද, තථාගතයන් වහන්සේගේ (ඒ ආශ්‍රවයෝ) ප්‍රහීණ වූවාහුය. මුළුසුන්කරණ ලද්දාහුය. මස්තකය සිඳි තල්ගසක් මෙන් කරණ ලද්දාහුය. විනාශ කරණ ලද්දාහුය. නැවත ඉපදීම නැතිකරණලද්දාහුය. අනුරුද්ධයෙනි, යම්සේ මස්තකය සිඳින ලද තල්ගස නැවත වැඩීමට සුදුසු නොවේද, අනුරුද්ධයෙනි, එමෙන්ම කෙලෙසන නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත, දුක් විපාක ඇති නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ යම් ආශ්‍රවයෝ වෙත්ද (ඒ ආශ්‍රවයෝ) තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. මුලුසුන් කරණලද්දාහුය. මස්තකය සිඳින තල් වත්තක් මෙන් කරණ ලද්දාහුය. විනාශකරන ලද්දාහුය. නැවත ඉපදීම නැතිකරණ ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරු කළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි කියා තථාගතයන් වහන්සේ කෙරෙහි මේ අදහස වන්නේය.