2. 2. 7.
7. චාතුම සූත්‍රය
157. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චාතුමා නුවර නෙල්ලි වනයෙහි වාසය කළහ. එකල්හි වනාහි සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නුවරට පැමිණියාහු වෙත්. ඒ ආගන්තුක භික්ෂූහු නේවාසික භික්ෂූන් සමග සතුටු වෙමින් සෙනසුන් පනවන්නාහු පාසිවුරු තැන්පත් කර තබන්නාහු උස් ශබ්ද මහා ශබ්ද ඇත්තෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. “ආනන්‍දය, මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහා ශබ්ද කරන්නෝ කවරහුද?”
“ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය” යි (කීය.) “ආනන්‍දය, එසේනම් ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මකුන් කැඳවති’ යි මාගේ වචනයෙන් ඒ භික්‍ෂූන් කැඳවව” “එසේය ස්වාමීනි” යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්‍ෂූහු යම් තැනකද එහි පැමිණියේය. එහි පැමිණ, ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවති’ යි ඒ භික්‍ෂූන්ට කීය. ‘එසේය ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියාහුය. එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාහුය. එක් පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය කීය. “මහණෙනි, කුමක් හෙයින් තොපි මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහත් ශබ්ද කරන්නහුද?”
“ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ මේ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය” යි (කීහ.) “මහණෙනි, යව් තොප නෙරපමි. තොප මා වෙත නොවැසිය යුතුය” යි (වදාළහ). “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සෙනසුන් අකුලා තැන්පත්කර තබා පා සිවුරු ගෙන ගියාහුය.
158. එසමයෙහි වනාහි චාතුමා නුවර වැසි ශාක්‍යයෝ නගර ශාලාවෙහි රැස්ව හුන්නාහුය. (ඒ) චාතුමා නුවර වැසි ශාක්‍යයෝ දුරදීම එන ඒ භික්‍ෂූන් දුටුවාහුය. දැක ඒ භික්‍ෂූහු යම් තැනකද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් එතැනට පැමිණියාහුය. පැමිණ ඒ භික්ෂූන්ට “ආයුෂ්මත් නුඹවහන්සේලා මේ දැන් අවුත් මේ දැන් කොහි යන්නහුදැයි?” ඇසූහ. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූහු සංඝයා නෙරපන ලද්දේය.” “එසේ නම්, ආයුෂ්මතුන් වහන්සේලා මොහොතක් හිඳිනු මැනව. අපි භාග්‍යවතුන් වහන්සේ පහදවන්ට හැකි වන්නෙමු නම් යෙහෙක” කීහ. “එසේය, ඇවැත්නි”යි ඒ භික්ෂූහු චාතුමා නුවර වැසි ශාක්‍යයන්ට පිළිතුරු දුන්නාහුය.
ඉක්බිති චාතුමෙය්‍යක ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නාහුය. එක් පැත්තක හුන් චාතුමෙය්‍යක ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවාහුය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමතිවන සේක්වා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් සේ පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හිත් අනුග්‍රහ කරණ සේක්වා. ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුත පැමිණි නවක භික්ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලැබෙන ඒ භික්ෂූන්ට ශ්‍රද්ධාවේ වෙනසක් වන්නේය. පෙරළීමක් වන්නේය. ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට වෙනසක් වන්නේද, පෙරළීමක් වන්නේද, ස්වාමීනි, එමෙන්ම ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන ඒ භික්ෂූන්ට වෙනසක් වන්නේය, පෙරළියක් වන්නේය,
ස්වාමීනි, යම්සේ මව දකින්ට නොලැබෙන වසු පැටවෙකුට වෙනසක් වන්නේද, පෙරළියක් වන්නේද, එමෙන්ම ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ නොදක්නා ඔවුන්ට අමුත්තක් වන්නේය. පෙරළියක් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමති වන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරණ සේක්වා, ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණසේක්වා.
159. ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳ කල්පනාව දැන යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අත දිගුකෙරේද, දිගුකළ අත හකුලුවාද, එමෙන් බඹලොවෙහි අතුරුදන්වී (නොපෙනී ගොස්) භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය. ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම උතුරු සළුව එකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඟිලි එකට තබා වැඳ නමස්කාර කොට මේකාරණය කීය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමතිවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරණ සේක්වා ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන ලදද එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන සේක්වා. ස්වාමීනි, ළඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුත පැමිණි නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලැබෙන ඒ භික්ෂූන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය.
ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට වෙනසක් වන්නේද, පෙරළීමක් වන්නේද, ස්වාමීනි, එමෙන්ම ළඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන ඒ භික්ෂූන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය.
ස්වාමීනි, මව දකින්නට නොලැබෙන වසුපැටවෙකුට අමුත්තක් වන්නේද, වෙනස්කමක් වන්නේද එමෙන්ම ස්වාමීනි, ළඟදී පැවිදිවූ මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නොදන්නා ඔවුන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමතිවන සේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරන සේක්වා. ස්වාමීනි යම්සේ භාග්‍යවතුන් වහන්සේ පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන සේක්වා.”