2. 2. 6.
ලටුකිකොපම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අංගුත්තරාප නම් ජනපදයෙහි අංගුත්තරාප වැසියන්ගේ මහගමක්වූ ආපණ නම් ගමෙහි වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ ආපණ නම් ගමට වැඩියහ. ආපණ නම් ගමෙහි පිඩු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ එක්තරා වනලැහැබක් යම් තැනකද දවල් කාලයෙහි විසීම සඳහා එහි වැඩියහ. ඒ වනලැහැබට පැමිණ, එක්තරා රුකක් මුල දවල් වාසය පිණිස හුන්නේය.
ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේද සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ පෙරවරු කාලයෙහි ආපණයෙහි පිඬුපිණිස පිවිසියේය. ආපණයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකී ඒ වනලැහැබ යම් තැනකද එහි දවල් වාසය පිණිස ගියේය. ඒ වනලැහැබට පැමිණ, එක් රුකක් මුල දවල් වාසය පිණිස හුන්නේය. ඉක්බිති විවේකව තනිව සිටියාවූ ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට රහසිගතව විවේකීව සිටින විට සිතෙහි මෙබඳු අදහසක් ඇතිවිය: ‘භාග්‍යවතුන්වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ දුක් දුරු කරන්නෙක, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ සැප රැස්කරන්නෙක, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ අකුසලධර්මයන් දුරුකරන්නෙක, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ කුසලධර්මයන් රැස්කරන්නෙක’ කියායි.
ඉක්බිති ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ සවස් කාලයෙහි ඵලසමාපත්තියෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියේය. එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය. “ස්වාමීනි, මෙහි විවේකව තනිව වාසය කළ මට මෙබඳු අදහසක් ඇතිවිය: ‘භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ දුක් දුරු කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ සැප රැස්කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ අකුසල ධර්මයන් දුරු කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ කුසලධර්මයන් රැස් කරන්නෙක’ කියායි.
ස්වාමීනි, පෙර අපි සවසද, උදයද, දවල්ද විකාලයෙහිද අනුභව කෙළෙමු. ස්වාමීනි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් කැඳවා ‘මහණෙනි, එසේ නම් තොපි මේ දවල් විකාල භෝජනය අත්හරිව්’ යැයි වදාළ කාලයක් වීද, ස්වාමීනි, ඒ අවස්ථාවෙහි මගේ සිතෙහි වෙනස්වීමක් (කලකිරීමක්) ඇතිවිය. දොම්නසක්ද ඇතිවිය. ‘අපට සැදැහැවත් ගෘහපතියෝ දවල් විකාලයෙහි යම් ප්‍රණීත කන දෙයක් හෝ අනුභව කරණ දෙයක් හෝ දෙත්ද, එයද භාග්‍යවතුන් වහන්සේ අපට අත්හරින්නට කියත්. සුගතයන් වහන්සේ එය අපට දුරුකරන්ට කියත්’ යනුවෙනි.
ස්වාමීනි, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයද ගෞරවයද ලජ්ජාවද, භයද, සලකමින් මෙසේ ඒ දවල් විකාල භෝජනය දුරුකෙළෙමු. ස්වාමීනි, එකල අපි සවසද, උදේද අනුභව කෙළෙමු. ස්වාමීනි, යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් කැඳවා ‘මහණෙනි, එසේ නම් තොපි මේ රාත්‍රි විකාල භෝජනයද අත්හරිව්’ යැයි වදාළ සේක්ද, ස්වාමීනි, ඒ අවස්ථාවෙහිද මගේ සිතෙහි වෙනස්වීමක් ඇතිවිය. දොම්නස්ද ඇති විය. ‘අපගේ මේ ආහාර වේල් දෙකින් යම් වේලක් ඉතා ප්‍රණීත වීද, එයද භාග්‍යවතුන් වහන්සේ අපට අත්හරින්නට කියත්. සුගතයන් වහන්සේ එයද දුරුකරන්ට කියත්’ යනුවෙනි.
ස්වාමීනි, පෙර එක් පුරුෂයෙකුට දවල් සූපයක් ලැබී මෙසේ කීය. ‘එසේ නම් මෙය තබව්. සවස සියලුදෙනා එකතුව අනුභව කරමු’ කියායි. ස්වාමීනි, යම්කිසි මනාව පිළියෙල කළ කෑම ජාති වෙත්නම් ඒ සියල්ල රාත්‍රියෙහිම බහුලය, දවල් අනුභව කරන්නේ ස්වල්පයකි. ස්වාමීනි, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයද, ගෞරවයද, ලජ්ජාවද, භයද සලකමින් මෙසේ ඒ රාත්‍රි විකාල භෝජනය අත්හැරියෙමු.
ස්වාමීනි, පෙර භික්ෂූහු රෑ අඳුරු කලුවරෙහි පිඬු පිණිස හැසිරෙන්නාහු ගම්දොර ගවර වලෙහිද වැටෙත්. ඉඳුල් දිය දමන වලෙහිද වැටෙත්. කටුවැටටද නගිත්. ලැගහුන් දෙන පිටද නගිත්. සොරකම් කළ හෝ නොකළ හොරු හා එකතු වෙත්. ස්ත්‍රීහුද අසද්ධර්මය සඳහා කැඳවත්.
ස්වාමීනි, පෙර මමද රෑ අඳුරු කලුවරෙහි පිඬු පිණිස හැසුරුනෙමි. එකල බදුනක් සෝදන එක් ස්ත්‍රියක් විදුලි එලියෙන් මා දැක්කාය. මා දැක බියවී ‘අහෝ මට විපතක්! මා ලුහුබඳින යකෙක්’ යැයි කෑගැසීය. එසේ කෑගැසූ කල්හි, ස්වාමීනි මම ඒ ස්ත්‍රියට මෙසේ කීයෙමි. ‘නැගණිය, මම යකෙක් නොවෙමි. පිඬු පිණිස වැඩ සිටි භික්ෂුවකි’. ‘භික්ෂුවගේ පියා මැරුණේද? මව මළාද? භික්ෂූන් වහන්ස, රෑ අඳුරෙහි කුස නිසා පිඬු පිණිස හැසිරෙනවාට වඩා තියුණු ගෙරිකපන කැත්තෙන් කුස කපා දැමීම උතුම්ය’යි කීය.
ස්වාමීනි, එය සිහිවෙන මට මෙබඳු සිතක් වෙයි: ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ දුක් දුරුකරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ සැප රැස්කරන්නෙක, භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ අකුශලධර්මයන් දුරුකරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ කුශලධර්මයන් රැස් කරන්නෙක’ කියායි.
උදායීය, එසේමය. මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ ‘මෙය දුරුකරව්’ යයි මා විසින් කියනු ලබන කල්හි ‘මේ ශ්‍රමණ තෙමේ මේ සුලුදේ ගැන කුඩාදේ ගැන කියන්නේ කුමටද, සොයන්නේ කුමට දැයි’ කියත්. ඔවුහු එයද අත්නොහරිත්. මා කෙරෙහිද ශික්ෂාව කැමති භික්ෂූන් කෙරෙහිද නොසතුට උපදවත්. ඒ හිස් පුරුෂයන්ට එය බලවත් බැඳුමක්, දැඩි බැඳුමක්, ස්ථිර බැඳුමක්, නොදිරන බැඳුමක්, බෙල්ලේ එල්ලු මහ ලීයක් මෙන් වෙයි.