2. 2. 5.
භද්දාලි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ “පින්වතුන් වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: “මහණෙනි, මම වනාහි උදය කාලයේ ආහාරයම වළඳමි. මහණෙනි, මම උදය කාලයේ ආහාරයම වළඳන්නෙම් ආබාධ නැති බවද, නිදුක් බවද, ශරීර සැහැල්ලු බවද, කාය බලයද, ශරීරයේ සැප විහරණයද ලබමි. මහණෙනි, එව්, තොපිද උදය කාලයේ ආහාරයම වළඳව්. මහණෙනි, තොපිද උදය කාලයේ ආහාරයම වළඳන්නාහු ආබාධ නැති බවද, නිදුක් බවද, ශරීර සැහැල්ලු බවද, කාය බලයද, ශරීර සැප විහරණයද ලබව්” යයි වදාළහ.
මෙසේ වදාළ කළ, ආයුෂ්මත් භද්දාලි නම් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, මම පෙරවරු (පමණක්) ආහාර වළඳීමට නොහැකිවෙමි. ස්වාමීනි, පෙරවරු (පමණක්) ආහාර වළඳන්නාවූ මට (ජීවත් විය හැකිදැයි) සැකයක් වන්නේය, කණගාටුවක් වන්නේය.” “භද්දාලිය, එසේ නම් ඔබ යම් තැනෙක ආරාධනා කරන ලද්දේ වන්නෙහිද, එහිදී කොටසක් අනුභවකොට, කොටසක් ගෙණ ගොස් වළඳව, එසේ වළඳන ඔබ යැපෙන්නෙහිය.” “ස්වාමීනි, මම එසේද වළඳන්ට නොහැකි වෙමි. ස්වාමීනි, එසේද වළඳන්නාවූ මට (ජීවත්විය හැකිදැයි) සැකයක් වන්නේය. කණගාටුවක් වන්නේය.” ඉක්බිති ආයුෂ්මත් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ විසින් (විකාල භොජනය) ශික්ෂාපදය පනවනු කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන්වනු ලබන කල්හි (එය රැකීමට) නොහැකි බව පළ කළේය. ඉක්බිති ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව නොපුරන්නෙක් යම්සේද එමෙන් ආයුෂ්මත් භද්දාලි භික්ෂුව තෙමසක් මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ හමුවීමට නොපැමිණියේය.
ඒ කාලයෙහි බොහෝ භික්ෂූහු සිවුරෙහි කටයුතු නිමවූ පසු තෙමසකින් භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි වඩිතියි භාග්‍යවතුන් වහන්සේගේ සිවුරක් මසත්. ඉක්බිති ආයුෂ්මත් භද්දාලි භික්ෂුව, ඒ භික්ෂූහු යම් තැනකද එහි ගියේය. එහි ගොස් ඒ භික්ෂූන් සමග සතුටුවිය. සතුටු විය යුතු සිහි කළ යුතු කථාව කොට එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් භද්දාලි භික්ෂුවට ඒ භික්ෂූහු මේ කාරණය කීවාහුය. “සිවුරෙහි කටයුතු නිමවූ පසු තුන් මාසයකින් භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි වඩින හෙයින් භාග්‍යවතුන් වහන්සේගේ සිවුරක් මසනු ලැබේ. (කියායි.) “ආයුෂ්මත් භද්දාලිය, එබැවින් ඒ අපරාධය (-වරද ශික්ෂා පදය පැනවීමෙදී නොපිළිගැනීම) හොඳින් සිහිකරව ඔබට පසුව දුෂ්කරයක් නොවේවා”යි (කීහ.)
ආයුෂ්මත් භද්දාලි භික්ෂුව, “එසේය ඇවැත්නි”යි ඒ භික්ෂූන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. (එහි) පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, යම් බඳුවූ මම භාග්‍යවතුන්වහන්සේ විසින් ශික්ෂාපදය පනවන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන්වන කල්හි, අනුත්සාහය පළ කෙළෙම්ද, (ඒ) වරද බාලයකුසේ, මුළාවූවකුසේ, අව්‍යක්තයකුසේ, මා ඉක්ම පැවැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ වරද නැවත නොකරනු පිණිස මාගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා” කියායි
“භද්දාලිය, මා විසින් ශික්ෂාපදය පණවනු ලබන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි යම් බඳුවූ ඔබ අනුත්සාහය පළ කළෙහිද එබැවින් බාලයකුසේ, මුළාවූවකුසේ, අව්‍යක්තයකුසේ, ඔබ වරද ඉක්ම පැවැත්තෙහිය.
භද්දාලිය, ඔබ විසින් කාලයද දැන නොගන්නා ලද්දේය, භාග්‍යවතුන් වහන්සේද සැවැත්නුවර වසති, භද්දාලි භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි භාග්‍යවතුන් වහන්සේද මා දැනගන්නාහයි යන මේ කාලය (වේලාව) භද්දාලිය, ඔබ විසින් දැනනොගන්නා ලද්දේය.
“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය. බොහෝ භික්ෂූහු සැවැත්නුවර වස් වැසුවාහුය, භද්දාලිය භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැයි ඒ භික්ෂූහුද භද්දාලි නම් භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව නොපුරන්නෙකැයි මා දැනගනිත් යන මේ කාලයද ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.
“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, බොහෝ භික්ෂුණීහුද සැවැත්නුවර වස් එළඹියාහුය, භද්දාලි නම් භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව නොපුරන්නෙකැ’යි ඒ භික්ෂුණීහුද මා දැනගන්නාහ යන මේ කාලය භද්දාලිය, ඔබ විසින් දැනනොගන්නා ලද්දේය.
“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, බොහෝ උපාසකයෝ සැවැත්නුවර වෙසෙත්. භද්දාලි භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි ඔව්හුද මා දැනගන්නාහුය යන මේ කාලය, භද්දාලිය, ඔබ විසින් දැන නොගන්නා ලද්දේය. “භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, බොහෝ උපාසිකාවෝ සැවැත්නුවර වෙසෙත්. භද්දාලි නම් භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි ඒ උපාසිකාවෝද මා දැනගන්නාහ යන මේ කාලය භද්දාලිය, ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.
“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, නොයෙක් අන්‍ය තීර්ථක මහණ බමුණෝ සැවැත්නුවර වස් එළඹියාහුය. භද්දාලි නම් භික්ෂුව ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක තෙරුන් අතරෙන් කෙනෙක්වද ශාස්තෲන් වහන්සේගේ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි ඔවුහුද මා දැනගන්නාහ යන මේ කාලය භද්දාලිය, ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.”
“ස්වාමීනි, යම්බඳුවූ මම භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපදය පනවන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි අනුත්සාහය පළ කෙළෙම්ද (ඒ) වරද බාලයකුසේ, මුළාවූවකුසේ, අව්‍යක්තයකුසේ, මා ඉක්ම පැවැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ වරද නැවත නොකරණු පිණිස මාගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා.” “භද්දාලිය, මා විසින් ශික්ෂාපදය පනවනු ලබන කල්හි භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි යම්බඳුවූ ඔබ අනුත්සාහය පළ කෙළෙහිද එබැවින් බාලයකුසේ මුළාවූවකු සේ, අව්‍යක්තයකුසේ ඔබ වරද ඉක්ම පැවැත්තෙහිය.