2. 2. 4.
මහා මාලුංක්‍ය සූත්‍රය
129. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැස වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථාකළහ. “ස්වාමීනි”යි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. “මහණෙනි, තොපි මා විසින් දෙසන ලද ඔරම්භාගීය සංයෝජනයන් (යට කොටසයයි කියනු ලබන කාම ලෝකය භජනය කරන සංයෝජනයන්) දරන්නා හුද”
මෙසේ ඇසූ කල්හි මාලුංක්‍ය පුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද පඤ්ච ඔරම්භාගීය සංයෝජනයන් සිතින් දරමි.” “මාලුංක්‍ය පුත්‍රය, තෙපි මා විසින් දෙසනලද පඤ්චඔරම්භාගීය සංයෝජනයන් කෙසේ දරන්නා හුද” “ස්වාමීනි, මම ආත්මයක් ඇත යන භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගීය සංයෝජනය වශයෙන් දේශනා කරන ලද සක්කාය දිට්ඨිය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයෝජන වශයෙන් වදාළ විචිකිච්ඡාව දරමි ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනාකළ ඔරම්භාගීය සංයෝජන වශයෙන් සීලබ්බත පරමාසය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයෝජන වශයෙන් දේශනාකළ කාමච්ඡන්දය දරමි. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයෝජන වශයෙන් වදාළ ව්‍යාපාදය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද පඤ්චඔරම්භාගීය සංයෝජනයන් මෙසේ දරමි.”
“මාලුංක්‍ය පුත්‍රය තොප මා විසින් කවරෙකුට දෙසන ලද පඤ්චඔරම්භාගිය සංයෝජනයන් මෙසේ දරයිද? මාලුංක්‍ය පුත්‍රය, අන්‍ය දෘෂ්ටික පැවිද්දෝ දොස් නගත හැකි මේ ළදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙත්ද? (කෙසේද) මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිළිඳු කුඩා දරුවෙකුට ස්වකීය ශරීරය යන හැඟීමක් නැත. ඔහුට මම යන දෘෂ්ටියක් කොහින් උපදීද? ඔහුට අනුශය වසයෙන් පවත්නා සක්කාය දෘෂ්ටියම ඇත්තේය.
මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට ධර්මයෝයයි හැඟීමක් නැත. ධර්මයන්හි සැකයක් කොයින් උපදීද? ඔහුට අනුශය වශයෙන් පවත්නා විචිකිච්ඡාවම ඇත්තීය.
මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට සීලයයි හැඟීමක් නැත. ඔහුට වරදවා ගන්නා සීලයක් ව්‍රතයක් කොහින් උපදීද? අනුශය වශයෙන් පවත්නා සීලබ්බතපරාමාසයම ඇත්තේය.
මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිළිඳු කුඩා දරුවෙකුට කාමයයි හැඟීමක් නැත. ඔහුට කාමයෙහි කැමැත්ත කොහින් උපදීද? ඔහුට අනුශය වශයෙන් පවත්නා කාමච්ඡන්දයම ඇත්තේය.
මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිළිඳු දරුවෙකුට සත්වයෝයයි හැඟීමක් නැත. එවිට සත්වයන් කෙරෙහි කෝපයක් කොයින් උපදින්නේද? ඔහුට අනුශය වශයෙන් පවත්නා ව්‍යාපාදයම ඇත්තේය. මාලුංක්‍ය පුත්‍රය, අන්‍ය දෘෂ්ටික පැවිද්දෝ දොස් නගන හැකි මේ ළදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙත්ද?”
මෙසේ කී කල්හි ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් පඤ්චඔරම්භාගීය සංයෝජනයන් දෙසත් ද භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරත්ද, (-ඉගෙණ ගණිත්ද) භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලයයි. සුගතයන් වහන්ස, මේ එයට කාලයයි.” “ආනන්දය, එසේ නම් අසව, හොඳින් සිහි කරව. කියන්නෙමි,” “එසේය, ස්වාමීනි”යි ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
130. “ආනන්දය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නා, ආර්‍ය්‍ය ධර්මයෙහි අදක්ෂ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනු, නොදක්නා සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු, නූගත් පෘථග්ජනයා සත්කාය දෘෂ්ටියෙන් මඩනාලදුව උපන් සත්කාය දෘෂ්ටිය ඇති සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටියගේ නැතිකිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරුකිරීමට අපහසුවූ ඔහුගේ සක්කාය දිට්ඨිය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි. “සැකයෙන් මඩනාලදුව, උපන් සැකය ඇති සිතින් වාසය කරයිද, උපන් සැකයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරුකිරීමට අපහසුවූ ඔහුගේ විචිකිච්ඡාව ඔරම්භාගීය සංයෝජනයක් වෙයි. “සීලබ්බත පරාමාසයෙන් මඩනා ලදුව, උපන් සීලබ්බත පරමාශය ඇති සිතින් වාසය කරයිද. උපන් ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ සීලබ්බත පරාමාසය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි. “කාම රාගයෙන් මඩනා ලදුව, උපන් කාම රාගයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් කාම රාගයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ඡන්ද රාගය ඔරම්භාගීය සංයෝජනයක්වේ. “කෝපයෙන් මඩනා ලදුව, උපන් කෝපයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් කෝපයේ නැති කිරීම නොදනී, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ව්‍යාපාදය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.
131. “ආනන්දය, ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නා ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ සත්පුරුෂ ධර්මයෙහි හික්මුනු උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා සත්කායදෘෂ්ටියෙන් නොමඩනා ලද, සත්කායදෘෂ්ටිය නූපන් සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටි නැති කිරීම ඇතිසැටියෙන් දනීද අනුශය සහිතවූ ඔහුගේ ඒ සත්කායදෘෂ්ටිය නැතිවී යන්නේය.
“සැකයෙන් නොමඬනා ලද, සැකය නූපන් සිතින් වාසය කරයි. උපන් සැකයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ සැකය නැතිවීයයි,
“ශීලව්‍රත පරාමාශයෙන් නොමඩනා ලද, ශීලව්‍රත පරාමාශය නූපන් සිතින් වාසය කරයි. උපන්නාවූ ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ ශීලව්‍රත පරාමාශය නැතිවී යන්නේය.
“කාම රාගයෙන් නොමඩනා ලද, නූපන් කාම රාගය ඇති සිතින් වාසය කරයි. උපන් කාම රාගයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී, ඔහුගේ අනුශය සහිත ඒ කාම රාගය නැතිවී යයි.
“කෝපයෙන් නොමඩනා ලද, නූපන් කෝපය ඇති සිතින් වාසය කරයි. උපන් කෝපයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී, ඔහුගේ අනුශය සහිත ඒ කෝපය නැතිවීයයි.