2. 2. 3.
චූල මාලුංක්‍ය සූත්‍රය
122. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි රහසිගතව සිත එකඟ කළ මාලුංක්‍ය පුත්‍ර තෙරුන් වහන්සේට සිත පිළිබඳ මෙබඳු කල්පනාවක් පහළ විය. (එනම්) ‘ලෝකය සදාකාලිකය කියාද, ලෝකය සදාකාලික නොවේය කියාද, ලෝකය කෙළවරක් ඇත්තේය කියාද, ලෝකය කෙළවරක් නැත්තේය කියාද, ඒ ජීවයම ඒ ශරීරයයි කියාද, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්වයා මරණින් පසු ඇතිවේය කියාද, සත්වයා මරණින් පසු ඇති නොවේය කියාද, සත්වයා මරණින් පසු ඇතිවේද ඇතිනොවේද කියාද, සත්වයා මරණින් පසු ඇතිනොවේය ඇති නොවන්නේත් නොවේය කියාද, භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද, තබන ලද, ප්‍රතික්ෂෙප කරන ලද යම් මේ දෘෂ්ටීහු වෙත්ද, භාග්‍යවතුන් වහන්සේ මට ඒ දෘෂ්ටි ප්‍රකාශ නොකළහ. භාග්‍යවතුන් වහන්සේ මට යම් දෘෂ්ටි ප්‍රකාශ නොකළෝද මට එය රුචි නොවෙයි. මට එය ඉවසිය නොහැක. ඒ මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ඒ කාරණය විචාරන්නෙමි. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ, ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නේ නම් එවිට මම භාග්‍යවතුන් වහන්සේ වෙත මහණකම් කරන්නෙමි. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ නොකරන්නේ නම් එවිට මම පැවිදිකම හැර ගිහිවන්නෙමි” (කියායි.)
123. ඉක්බිති ආයුෂ්මත් මාලුංක්‍ය පුත්ත ස්ථවිර තෙම සවස් කාලයෙහි සිත එකඟ කිරීමෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තෙක හුන්නේය. එක් පැත්තක හුන් මාලුංක්‍ය පුත්ත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.
124. “ස්වාමීනි, මෙහි රහසිගතව සිත එකඟ කළ මට සිත පිළිබඳ මෙබඳු කල්පනාවක් පහළ විය. (එනම්) ලෝකය සදාකාලිකය කියාද, ලෝකය සදාකාලික නොවේය කියාද, ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවය ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නේ නම් මම භාග්‍යවතුන් වහන්සේ වෙත මහණකම් කරන්නෙමි. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවය ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ නොකරන්නේ නම් එවිට මම පැවිදිකම හැර ගිහිවන්නෙමි”යි (කියායි).
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකය සදාකාලියයි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලික නොවේයයි දනීද, මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලික නොවේයයි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ ලෝකය සදාකාලික නොවේය කියා හෝ නොදනීද (එසේ) නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ නොදනිමි නොදකිමි’යි යන මෙයම (-මේ කීමම) ඍජුකම වේ.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය කෙළවරක් ඇත්තේය කියා දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකය කෙළවරක් ඇත්තේය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය කෙළවරක් නැත්තේය කියා දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකය කෙළවරක් නැත්තේය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ නොදනීද, එසේ නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ ‘නොදනිමි නොදකිමි’යි යන මෙයම (මේ කීමම) ඍජුකම වේ.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ ඒ ජීවයම ඒ ශරීරය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ඒ ජීවයම ඒ ශරීරය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ජීවය අනිකෙක, ශරීරය අනිකෙකැයි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ජීවය අනිකෙක ශරීරය අනිකෙකැයි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ඒ ජීවයම ශරීරය’යි කියා හෝ ජීවය අනිකෙක ශරීරය අනිකෙකැයි කියා හෝ නොදනීද, නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ නොදනිමි නොදකිමි’යි යන මෙයම (-මේ කීමම) ඍජුකම වේ.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට සත්වයා මරණින් පසු ඇතිවේය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇති නොවේය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට සත්වයා මරණින් පසු ඇති නොවේය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ නොදනීද, නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ නොදනිමි නොදකිමි’යි යන මෙයම (මේ කීමම) ඍජුකම වේ.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේය’යිද ඇති නොවේය’යිද දනීද, මට භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේය’යිද ඇති නොවේය’යි ද ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිනොවේය ඇති නොවන්නෙත් නොවේය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේයයි ප්‍රකාශ කෙරේවා ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේ යයිද ඇති නොවේය’යිද නොදනීද සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය’යිද නොදනීද නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ නොදනිමි නොදකිමියි යන මෙයම (මේ කීමම) ඍජුකම වේ.”
125. “මාලුංක්‍ය පුත්‍රය, කිමද? ඔබට මම මෙසේ කීයෙම්ද? ‘මාලුංක්‍ය පුත්‍රය, මම ඔබට ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරයයි කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නෙමි. (මෙහි) එව මා වෙත බඹසර (බ්‍රහ්මචරියායෙහි) හැසිරෙව පැවිදිවෙව”(යි කීයෙම්ද) “ස්වාමීනි, එබඳු කීමක් නැත.” “ඔබ හෝ මට, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකය සදාකාලිකය කියා හෝ ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේ කියා හෝ ප්‍රකාශ කරන්නේ නම් මම භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නෙමියි පැවිදිවන්නෙමි’යි මෙසේ කීයෙහිද?” “ස්වාමීනි, එබඳු කීමක් නැත.”