2. 2. 2.
මහා රාහුලොවාද සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවත් නුවරෙහි පිඬු පිණිස වැඩියහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේද පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ භාග්යවතුන් වහන්සේගේ පිටුපසින් ගියේය. ඉක්බිති භාග්යවතුන්වහන්සේ ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දෙස හැරී බලා මෙසේ කීහ.
“රාහුල, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද තමා තුළ පිහිටියාවූ හෝ බාහිරවූ හෝ ඔලාරික (මහත්) වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ උසස්වූ හෝ යම් කිසි රූපයක් වේද, දුරෙහිවූ හෝ සමීපයෙහිවූ හෝ යම් රූපයක් වේද ඒ සියලු රූපය මාගේ නොවේය. ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි, මෙසේ ඇති සැටියෙන් යහපත් ප්රඥාවෙන් දත යුතුයි. “භාග්යවතුන් වහන්ස, රූපය පමණක්ද? සුගතයන් වහන්ස, රූපය පමණක්ද? “රාහුල, රූපයද; රාහුල, වේදනාවද; රාහුල, සංඥාවද; රාහුල, සංස්කාරයෝද; රාහුල, විඥානයද (එසේය.)”
ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිරතෙමේ “භාග්යවතුන් වහන්සේ හමුවෙන් අවවාදයක් ලැබූ කවරෙක් ගමට පිඬු පිණිස යන්නේදැ”යි (සිතා) එයින් නැවතී එක්තරා රුකක් මුල අරමිනිය ගොතාගෙන කය කෙළින් තබා සිහිය ඉදිරි කොට උපදවා හුන්නේය. ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේද එක්තරා රුකක් මුල අරමිනිය ගොතාගෙන කය කෙළින් තබා සිහිය ඉදිරිකොට උපදවා වැඩහුන් ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දැක, ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්හට මෙසේ කීහ. “රාහුල, ආණාපාණසති භාවනාව වඩව. රාහුල, ආණාපාණසති භාවනාව වඩව. රාහුල, ආණාපාණසතිය වඩන ලද්දී, බහුල වශයෙන් කරණ ලද්දී, මහත්ඵල වෙයි. මහානිශංස වෙයි.”
ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙම සවස් කාලයෙහි සිත එකඟ කිරීමෙන් නැඟී සිටියේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, කෙසේ වඩනලද, කෙසේ බහුල වශයෙන් කරණලද ආණාපාණසතිය මහත්ඵල මහානිශංස වේද?”
“රාහුල, තමා කොට ගන්නා, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්රිය සහිතවූ යම් කර්කශ බවක්, තද බවක් වේද, එනම්: කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංශය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු (බඩවැල), අතුනුබහන් (බඩවැල දරණු), නොපැසුණු ආහාර, ආහාර මල යන මොහුයි. තමා කොට ගන්නා එයින් අන්යවූ ජීවිතෙන්ද්රිය සහිත යම් කිසි තදබවක්, රළු බවක් වේද, රාහුල, මේ තමා තුළ පවත්නා පෘථිවිධාතුව යයි කියනු ලැබේ. යම් තමා තුළ පවත්නා පෘථිවිධාතුවක් වේද, යම් බාහිර පෘථිවිධාතුවක් වේද, මේ දෙකම පඨවි ධාතුවමැයි. එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි. මෙසේ එය තත්වූ පරිදි (ඇතිසැටියෙන්) යහපත් ප්රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්රඥාවෙන් (නුවණින්) දැක පඨවි ධාතුවෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඇලෙයි.
“රාහුල, ආපො ධාතුව කවරීද, අධ්යාත්ම ආපො ධාතුවක් වන්නේය. බාහිර ආපො ධාතුවක් (ද) වන්නේය. රාහුල, අධ්යාත්ම ආපෝ ධාතුව කවරීද, තමා තුළ පවත්නා වූ යම් දියාරු බවක්, වැගිරීමක් වේද, එනම්: පිත, සෙම, සැරව, ලෙහෙ, ඩහදිය, මෙදතෙල, කඳුලු, මස් තෙල, කෙල, සොටු, (ඇටසන්ධිවල සිටි-) සඳමිඳුලු, මුත්ර යන මොහුද, මෙයින් අන්ය වූ යම් කිසි ජීවිතය සහිත වූ දියාරු බවක්, වැගිරෙන බවක් වේද, රාහුල, මේ අධ්යාත්මික ආපෝ ධාතුවයයි කියනු ලැබේ. යම් අධ්යාත්මික ආපෝ ධාතුවක් වේද, යම් බාහිර ආපෝ ධාතුවක් වේද මේ දෙකම ආපෝ ධාතුව මැයි. ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි,’ මෙසේ එය ඇතිසැටියෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්රඥාවෙන් දැන ආපෝ ධාතුවෙහි කලකිරෙයි. ආපෝ ධාතුවෙහි සිත නොඇලෙයි.
“රාහුල, තෙජො ධාතුව කවරීද, අධ්යාත්මික තෙජො ධාතුවක්ද වන්නේය. බාහිර තෙජො ධාතුවක්ද වන්නේය. රාහුල, අධ්යාත්මික තෙජො ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, එනම්: යම් උණුසුමකින් තැවේද, යම් උණුසුමකින් ශරීරය දිරවයිද, යම් උණුසුමකින් දැවිලි කරයිද, යම් උණුසුමකින් කන බොන ලද ආහාර පාන දිරවයිද, මෙයින් අන්යවූ තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, රාහුල, මේ අධ්යාත්මික තෙජො ධාතුව යයි කියනු ලැබේ. රාහුල, යම් අධ්යාත්මික තෙජො ධාතුවක් වේද, බාහිරවූ යම් තෙජො ධාතුවක් වේද, මේ දෙකම තෙජො ධාතුව මැයි. එය මාගේ නොවේය, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවෙයි,’ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්රඥාවෙන් දැක තෙජො ධාතුවෙහි කලකිරෙයි. තෙජො ධාතුවෙහි සිත නොඇලෙයි.
“රාහුල, වායො ධාතුව කවරීද, අධ්යාත්මික වායො ධාතුවක්ද වන්නේය. බාහිර වායො ධාතුවක්ද වන්නේය. රාහුල, අධ්යාත්මික වායො ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්රිය සහිතවූ යම් වාතයක්, වායුවක් වේද, එනම් උඩට නගින වාතය, පහලට බස්නා වාතය, කුසෙහි (බඩෙහි) පවතින වාතය, බඩවැල් තුළ පවතින වාතය, අඟ පසඟ ක්රියා කරන වාතය, ආශ්වාස ප්රශ්වාස වාතය යන මේයි. මෙයින් අන්යවූද තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්රිය සහිත යම් වායුවක් වාතයක් වේද රාහුලය, මේ අධ්යාත්මික වායො ධාතුවයයි කියනු ලැබේ. අධ්යාත්මික යම් වායො ධාතුවක් වේද, බාහිරවූ යම් වායො ධාතුවක් වේද, මේ දෙකම වායො ධාතුව මැයි.’ ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්රඥාවෙන් දැක වායො ධාතුවෙහි කලකිරෙයි. වායො ධාතුවෙහි සිත නොඇලෙයි.
“රාහුල, ආකාශධාතුව කවරීද, අධ්යාත්මික ආකාශ ධාතුවක්ද වන්නේය. බාහිරවූ ආකාශ වස්තුවක්ද වන්නේය. “රාහුල, අධ්යාත්මික ආකාශ ධාතුව කවරීද, තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්රිය සහිත යම් ආකාශයක්, සිදුරක් වේද, එනම්: කන් සිදුර, නැහැ සිදුර, මුවදොර, යම් තැනෙකින් අනුභව කරන, බොන කන ලොවින දෙය ගිලෙයිද යම් තැනෙක අනුභව කරණ බොන කන ලොවින දෙය සිටීද (නවතීද) යම් තැනෙකින් අනුභවකරණ බොන කන ලොවින දෙය යට කොටසින් නික්මේද, යන මේයි. මෙයින් අන්යවූද තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්රිය සහිත යම්කිසි ආකාශයක්, සිදුරක් වේද, රාහුල, මේ