2. 2. 1.
අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කලන්දකනිවාප නම් වේළුවන විහාරයෙහි වැඩ වාසය කළහ. එකල්හි ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ අම්බලට්ඨිකාවෙහි (වේළුවනාරාමය අසල පිහිටි වඩා විවේක ඇති ආවාසයක) වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගී සිට අම්බලට්ඨිකාවෙහි ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් යම් තැනෙක්හිද එහි වැඩියහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ එන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක ආසනයක් පැනවීය. පා සේදීමට දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පැමිණ පැන වූ අසුනෙහි වැඩහුන්හ. හිඳ පාදයන් සේදූහ. ආයුෂ්මත් රාහුල ස්ථවිරතෙමේද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක හුන්නේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (පා සෝදා) දිය ස්වල්පයක් දිය බඳුනෙහි ඉතිරිකොට තබා ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ. ‘රාහුලය, තෙපි දිය බඳුනෙහි ඉතිරිකොට තබන ලද මේ දිය ස්වල්පය දක්නහුද?’ ‘එසේය, ස්වාමීනි’ ‘රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණකමද මෙසේ ස්වල්පයෙකි.’
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ඉතිරිව තුබූ දිය ස්වල්පය ඉවත් කොට ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ. ‘රාහුල, තෙපි ඉවත දමන ලද ඒ ඉතිරිවූ දිය ස්වල්පය දක්නහුද?’ ‘එසේය, ස්වාමීනි.’ ‘රාහුලය, යම් භික්ෂුවක් දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔවුන් විසින් මහණකම්ද මෙසේ ඉවත දමන ලද්දේය.’
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දියබඳුන යටිකුරු කොට මුණින් නවා ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ. ‘රාහුලය, ඔබ යටිකුරු කළ මේ දියබඳුන දක්නහුද?’ ‘එසේය, ස්වාමීනි.’ ‘රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද ඔහුගේ මහණකම මෙසේ මුණින් නමන ලද්දේය.’
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දිය බඳුන උඩුකුරු කොට ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ ‘රාහුලය, තෙපි හිස්වූ කිසිවක් නැති මේ දිය බඳුන දක්නහුද?’ ‘එසේය, ස්වාමීනි.’ ‘රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද ඔහුගේ මහණකමත් මෙසේ හිස්ය. (මහණකමට අයත් ගුණ කිසිවක් නැත.)
රාහුලය, යම්සේ රජුගේ, රියකඳක් පමණ මහදළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න, යුදයට බැසගත් ඇතෙක් වේද, ඒ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ කරයි. පසු පාදවලින්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. දෙකනින්ද වැඩ කරයි. දෙදළින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. (නමුත්) සොඬ රකී. එහිදී ඇතුන් බලන්නාට මෙවැනි අදහසක් වෙයි. මහ දළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න, යුදයට බැසගත් රජුගේ මේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදයෙන්ද වැඩ කරයි. පසු පාදයෙන්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. දෙකනින්ද වැඩ කරයි. දෙදළින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. (නමුත්) සොඬ රකී. ඇතාගේ ජීවිතය රජුට පරිත්‍යාග නොකෙළේය යනුයි.
රාහුලය, යම් හෙයකින් මහ දළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න යුදයට බැසගත් රජුගේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ කරයි. පසු පාදවලින්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. දෙකනින්ද වැඩ කරයි. දෙදළින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. සොඬවැලෙන්ද වැඩ කරයි. එහිදී ඇතුන් බලන්නාට මෙබඳු සිතක් වෙයි. මහ දළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න, රජුගේ මේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ කරයි. පසු පාදවලින්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. දෙකනින්ද වැඩ කරයි. දෙදළින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. සොඬවැලෙන්ද වැඩ කරයි. ඇතාගේ ජීවිතය රජුහට පරිත්‍යාගය කෙළේය යනුයි. දැන් රජුගේ ඇතා විසින් කළ යුතු අන්දෙයක් නැත. රාහුල, එපරිද්දෙන් යම් කිසිවෙකුට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුට නොකළ හැකි කිසි පාපයක් ඇතැයි මම නොකියමි. රාහුලය, එහෙයින් සිනහ වීමටවත් බොරු නොකියන්නෙමියි ඔබ මෙසේ හික්මිය යුතුයි.
රාහුලය, එය කුමක්යයි සිතන්නෙහිද? කැඩපත කවර ප්‍රයෝජනයක් පිණිසද? ‘ස්වාමීනි, (එය) මුහුණ බැලීම පිණිසයි.’ ‘රාහුලය, එලෙසින් බලව. (නුවණින්) බල බලා කයින් කටයුතු කළ යුතුය. (නුවණින්) බල බලා වචනයෙන් කටයුතු කළ යුතුය. (නුවණින්) බල බලා සිතින් කටයුතු කළ යුතුය.
රාහුල, තොප කයින් යම් කටයුත්තක් කරන්ට කැමැතිවුවහු ද තොප විසින් ඒ කයින් කරන කටයුත්ත (කාය කර්මය) සලකා බැලිය යුතුය: “මම කයින් යම් මේ කටයුත්තක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කයින් කරන කටයුත්ත තමන්ට පීඩා පිණිස පවත්නේද, අනුන්ට පීඩා පිණිස පවත්නේද, දෙදෙනාටම පීඩා පිණිස පවත්නේද, මේ කයින් කරන කටයුත්ත අකුසල්ද, දුක් රැස්කරන්නේද, දුක් විපාක ඇති කරන්නේදැ" යි. රාහුලය, (එසේ) සලකා බලන්නාවූ ඔබ මෙසේ දැනගන්නෙහිද: ‘මම යම් මේ කයින් කරන කටයුත්තක් කරන්ට කැමැත්තෙම් ද මාගේ මේ කයින් කරන කටයුත්ත තමන්ට පීඩා පිණිස පවත්නේය. අනුන්ට පීඩා පිණිස පවත්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. මේ කයින් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය’යි (කියායි). රාහුලය, තොප විසින් එබඳු කයින් කරන කටයුත්තක් ඒකාන්තයෙන් නොකළ යුතුය. තවද රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දැනගන්නෙහිද: ‘මම යම් මේ කයින් කරන කටයුත්තක් කරන්ට කැමැත්තෙම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමන්ට පීඩා පිණිස නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. මේ කයින් කරන කටයුත්ත කුසල්ය. සැප රැස්කරන්නේය. සැප විපාක ඇති කරන්නේය’යි (කියායි). රාහුලය, තොප විසින් එබඳු කයින් කරන කටයුතු කළ යුතුය.
රාහුලය, කයින් කටයුත්තක් කරන කල්හිද තොප විසින් ඒ කයින් කරන කටයුත්ත (කාය කර්මය) සලකා බැලිය යුතුය: "මම යම් මේ කයින් කටයුත්තක් කරම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමන්ට පීඩා පිණිස පවත්නේද? අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමන්ට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ කයින් කරන කටයුත්ත අකුසල්ද? දුක් රැස්කරන්නේද? දුක් විපාක ඇතිකරන්නේද?"යි යනුවෙනි. රාහුලය, ඉදින් මෙසේ සලකන්නා වූ ඔබ මෙසේ දන්නහු නම්: ‘මම කයින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේය. අනුන්ට පීඩා පිණිස ද පවතින්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. මේ කයින් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය’යි. රාහුලය, ඔබ එබඳු කයින් කරන කටයුත්තක් නොකරව. රාහුලය, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නහු නම්: 'මම කයින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. මේ කයින් කරන කටයුත්ත කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇති කරන්නේය'යි. රාහුල, ඔබ එබඳු කයින් කරන කටයුත්ත නොනවත්වන්නෙහිය. නැවත නැවත කරන්නෙහිය.