2. 1. 7.
කුක්කුරවතිය සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොලිය ජනපදයෙහි ‘හළිද්ද වසන’ නම් කොලිය ජනපද වාසීන්ගේ නියම්ගමක් වේ. (එය ගොදුරු ගම්කොට) වැඩවෙසෙන සේක. එකල්හි සමාදන්වූ ගොව්රත ඇති “පුණ්ණ” නම් කොලිය පුත්ර තෙමේද, සමාදන්වූ සුනඛ ව්රතය ඇති “සෙනිය” නම් අචෙලක තෙමේද භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, ගොන් පැවතුම් ඇත්තාවූ “පුණ්ණ” නම් කොලිය පුත්ර තෙම භාග්යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. බලු පැවතුම් ඇත්තාවූ “සේනිය” නම් ආවෙලක තෙම වනාහී භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා බල්ලෙකු මෙන් බිම ලැග ගෙණ එකපැත්තක හුන්නේය. එකපැත්තක හුන්නාවූම ගොන් පැවතුම් ඇති පුණ්ණ නම් කොලිය පුත්ර තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ බලු පැවතුම් ඇති සේනිය නම් අචෙලක තෙමේ දුෂ්කරක්රියා කරන්නේ බිම දමන ලද්දක් කයි. ඔහුගේ ඒ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේදැ”යි ඇසුවේය. “පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි” (වදාළේය). දෙවනුවද ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්ර තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අචෙලක තෙම දුෂ්කර ක්රියා කරන්නේ බිම දමන ලද්දක් කන්නේ ඔහුගේ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?”. “පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරව.” තුන්වෙනුවද ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලියපුත්ර තෙම භාග්යවතුන්වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අචෙලක තෙම දුෂ්කරක්රියා කරන්නේ බිම දමන ලද්දක් කයි. ඔහුගේ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව ගතිය කවරේද?”. “පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි, පුණ්ණය, ඒකාන්තයෙන් මම තොපගේ ඉල්ලීම නොලබමි. එහෙත් තට මම ප්රකාශ කරන්නෙමි.
පුණ්ණය, මේ ලෝකයෙහි ඇතමෙක් බලු පැවතුම් සමාදානය සම්පූර්ණකොට නිරතුරුව වඩාද, බලු ශීලය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩාද, බලු සිත සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, බල්ලන්ගේ ආකාරය සම්පූර්ණකොට නිරන්තරෙයන් වඩාද, හෙතෙම බලු පැවතුම් සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා, බලු ශීලය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා, බලු චිත්තය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා, බල්ලන්ගේ ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු බල්ලන්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් වනාහී මොහුගේ මෙබඳු ඇදහීමක් වේද, ‘මම මේ ශීලයෙන් හෝ පැවතුමෙන් හෝ තපසින් හෝ බ්රහ්මචර්ය්යාවෙන් හෝ, දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමියි’ (කියායි.) එය මොහුගේ මිථ්යාදෘෂ්ටිය වන්නීය. පුණ්ණය, මම මිථ්යාදෘෂ්ටි ඇත්තහුට වනාහි නරකය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා ගතියක් කියමි. පුණ්ණය, මෙසේ සම්පූර්ණ කරන්නාවූ බලු පැවතුම වනාහි බල්ලන්ගේ සහභාවයට පමුණුවයි. නරකයද විද්යාමාන වේ”යයි.
මෙසේ වදාළ කල්හි බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අචෙලක තෙම හැඬුයේය. කඳුලු වැගිරවූයේය. එකල්හි භාග්යවතුන් වහන්සේ ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්රයාට මෙය කීයේය. “පුණ්ණය ඒකාන්තයෙන් මම තොපගේ ඉල්ලීම නොලබමි. පුණ්ණය, කම් නැත. පුණ්ණය මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි, කීයේ මේ නිසාය.” “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ යමක් මට මෙසේ වදාළේද, මම මෙයට නොහඬමි. ස්වාමීනි, එසේ වුවත් මාගේ මේ බලු පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ස්වාමීනි, මේ පුණ්ණ නම් කොළිය පුත්ර තෙමේද සමාදන්වූ ගොන් පැවතුම් ඇත්තෙකි. ඔහුගේ ඒ ගොන් පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?”. “සෙනියය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි” (වදාළේය). දෙවනුවද, බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අචෙලක තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ පුණ්ණ නම් කොලිය පුත්ර තෙම සමාදන්වූ ගොන් පැවතුම් ඇත්තේය. ඔහුගේ ඒ ගොන් පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?”. “සෙනියය, කම් නැත මෙය තිබේවා. මා මෙය නොවිචාරව.”. තුන්වෙනුවද, බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අචෙලක තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ පුණ්ණ නම් කොළිය පුත්ර තෙම සමාදන්වූ ගොන් පැවතුම් ඇත්තේය. ඔහුගේ ඒ ගොන් පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?”. “සෙනියය, කම් නැත. සෙනියය, මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි. එකාන්තයෙන් තොපගේ ඉල්ලීම මම නොලබමි. එහෙත් තට මම ප්රකාශ කරන්නෙමි.
සෙනියය, මේ ලෝකයෙහි ඇතමෙක් ගොන් පැවතුම් සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩාද, ගොන් ශීලය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, ගොන් චිත්තය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, ගොන් ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩාද, හෙතෙම ගොන් පැවතුම සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා ගොන් ශීලය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා ගොන් චිත්තය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා, ගොන් ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු ගවයන්ගේ ස්වභාවයට පැමිණේ. ඉදින් වනාහී, මම මේ ශීලයෙන් හෝ ව්රතයෙන් හෝ තපසින් හෝ බ්රහ්මචර්ය්යයෙන් හෝ, දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් අන්යතරයෙක් හෝ වන්නෙමියි, ඔහුගේ ඇදහීම වේද, එය (ඒ ඇදහීම) ඔහුගේ මිථ්යා දෘෂ්ටිය වේ. සෙනියය, මිථ්යා දෘෂ්ටි ඇත්තහුට වනාහී මම නරකය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා ගතියක් කියමි. සේනියය, මෙසේ සම්පූර්ණ කරන්නාවූ ගොන් පැවතුම් වනාහි භවයන්ගේ සහභාවයට පමුණුවයි. නරකයද විද්යමාන වෙයි.”
මෙසේ වදාළ කල්හි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්රතෙම හැඬුයේය. කඳුළු වැගිරවූයේය. එකල්හි භාග්යවතුන් වහන්සේ බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අචෙලකයාට මෙය වදාළේය. “සෙනියය, කම් නැත සේනියය මෙය තිබේවා, මා මෙය නොවිචාරවයි’ මෙය වනාහී තොප ගෙන් මම නොලබමි.”යි කීයේ මේ නිසාය. “ස්වාමීනි, යමක් මට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේද, මම මෙයට නොහඬමි. ස්වාමීනි, එසේවූවත් මාගේ මේ ගොන් පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ යම් පරිද්දකින් මමද මේ ගොන් පැවතුම් දුරුකරන්නෙම්ද, මේ බලු පැවතුම ඇත්තාවූ සෙනියනම් අචෙලක තෙමේද ඒ බලු පැවතුම දුරු කරන්නේද, එපරිද්දෙන් ධර්මය දේශනා කරන්ට සමර්ථවේනම් මම භාග්යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ ප්රශන්න වූයේ වෙමියි,” (කීයේය.) “පුණ්ණය, එසේනම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි.” “එසේය, ස්වාමීනි,”යි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්රතෙම භාග්යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්යවතුන් වහන්සේ මෙය වදාළේය.
“පුණ්ණය, මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්රකාශ කරනලද්දාවූ මේ කර්ම සතරක් වෙත්. කවර සතරක්දයත්, පුණ්ණය, කෘෂ්ණවූ (දස අකුසල් කර්ම පථවූ) කෘෂ්ණ විපාක ඇති (අපායෙහි උපදින හෙයින් කළුවූ විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, ශුක්ලවූ (දසකුසල කර්ම පථයවූ) ශුක්ල විපාක ඇති (ස්වර්ගයෙහි උපදින හෙයින් සුදුවූ විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණවූද, ශුක්ලවූද (මිශ්රක කර්මයවූ) කෘෂ්ණවූද, ශුක්ලවූද විපාක ඇති (සැපවූද දුක්වූද විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණ නොවූ, ශුක්ලනොවූ, කෘෂ්ණ ශුක්ලනොවූ විපාක ඇති (යම්) කර්මයක් කර්මක්ෂය කිරීම පිණිස පවතීද (එබඳුවූ) කර්මයක්ද ඇත්තේය.