2. 1. 8.
අභයරාජකුමාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින් කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහී අභය නම් රාජකුමාර තෙම නිගණ්ඨනාත පුත්‍රතෙම යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූ ම අභය නම් රාජකුමාරයාට නිගණ්ඨනාත පුත්‍රතෙම මෙය කීයේය; “රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතමයන්ට වාදයක් ආරෝපනය කරව, (දොසක් නගව) ‘අභය නම් රාජකුමාරයා විසින් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන් හට වාදාරෝපනය කරන ලද්දේයයි’ මෙසේ තොපගේ යහපත් ගුණ ඝොෂණයක් පැන නගින්නේය.” “ස්වාමීනි, මම වනාහී ඒ කෙසේ නම් මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන් හට වාදාරෝපනය කරන්නෙම්ද?”
“රාජකුමාරය, එව. නුඹ ශ්‍රමණ ගෞතම තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණෙව. පැමිණ ශ්‍රමණ ගෞතමයන්ට මෙසේ කියව: ‘ස්වාමීනි, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද තථාගත තෙමේ එබඳු වචනයක් කියන්නේදැයි’ (අසව). ඉදින් තොප විසින් ශ්‍රමණ ගෞතම තෙම මෙසේ විචාරණ ලද්දේ ‘රාජකුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද තථාගතතෙම එබඳු වචනය කියන්නේයයි’ මෙසේ ප්‍රකාශ කෙරේ නම්, ඔහුට නුඹ මෙසේ කියව: 'ස්වාමීනි, එසේ ඇති කල්හි නුඹ වහන්සේගේ හා පෘථග්ජනයෙකුගේ ඇති වෙනස කවරේද? පෘථග්ජන තෙමේද වනාහී යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද එබඳු වචන කියන්නේයයි' කියව. ඉදින් වනාහී තොප විසින් මෙසේ විචාරණ ලද්දාවූ ශ්‍රමණ ගෞතම තෙම: ‘රාජකුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගත තෙම එබඳු වචනය නොකියන්නේය’යි මෙසේ ප්‍රකාශ කෙරේ නම් ඔහුට නුඹ මෙසේ කියව: ‘ස්වාමීනි, එසේ ඇති කල්හි නුඹ වහන්සේ විසින් දෙවදත්ත තෙම අපායෙහි උපදින්නෙක, දෙවදත්ත තෙම නිරයෙහි උපදින්නෙක, දෙවදත්ත තෙම කල්පයක් නිරයෙහි සිටින්නෙක, දෙවදත්ත තෙම පිළියම් කළ නොහැක්කෙකැයි’ කුමට ප්‍රකාශ කරන ලද්දේද? නුඹ වහන්සේගේ ඒ වචනයෙන් වනාහී දෙවදත්ත තෙම කිපියේ නොසතුටු සිත් ඇත්තේ වීය’යි (කියව.) රාජකුමාරය, නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය විචාරණ ලද්දාවූම ශ්‍රමණ ගෞතම තෙම වමාරන්ට නොහැකිවෙයි. ගිලගන්ට නොහැකිවෙයි. යම්සේ නම් පුරුෂයෙකුගේ උගුරෙහි ඇණුනු යකඩ කොක්කක් හෙතෙම වමාරන්ටත් නොහැකි වන්නේද, ගිලින්ටත් නොහැකි වන්නේද, රාජ කුමාරය, එපරිද්දෙන්ම තොප විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලද්දාවූම, ශ්‍රමණ ගෞතම තෙම වමාරන්ටත් නොහැකිවේ, ගිලගන්ටත් නොහැකි වේය”යි (කීයේය).
“ස්වාමීනි, එසේය” කියා අභය රාජ කුමාර තෙම නිගණ්ඨනාත පුත්‍රයාට උත්තර දී හුනස්නෙන් නැගිට නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ පදක්ඛිණා කොට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූම අභය රාජකුමාරයාහට හිරු දෙස බලා මෙබඳු සිතක් වූයේය. ‘අද වනාහී භාග්‍යවතුන් වහන්සේට වාදාරොපනය කරන්ට කල් නොවේ. හෙට මම ස්වකීය ගෘහයෙහිදී භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපනය කරන්නෙමි’යි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “ස්වාමීනි, මාගේ (ආරාධනය) ඉවසන සේක්වා,
භාග්‍යවතුන් වහන්සේ හෙට දවස පිණිස තමා සතර වෙනි කොට ඇත්තේ බත’යි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසූසේක. ඉක්බිති අභය රාජකුමාර තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පදක්ඛිණා කොට ගියේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ගතවීමෙන් පෙරවරු වේලෙහි හැඳපොරවා පාත්‍රා සිවුරුගෙණ අභයරාජ කුමාරයාගේ ගෘහය යම් තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ පනවනලද ආසනයෙහි වැඩහුන්සේක. ඉක්බිති අභයරාජ කුමාරතෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීතවූ කෑයුතු දෙයින් කටයුතු දෙයින් සියතින් වැළඳ වූයේය. සම්පවාරණය කරවූයේය. ඉක්බිති වළඳා අවසන්වූ පාත්‍රයෙන් ඉවත්කරණලද අත් ඇති භාග්‍යවතුන් වහන්සේ (වෙත) එක්තරා මිටි ආසනයක් ගෙණ එක පැත්තක උන්නේය. එක පැත්තක හුන්නාවූම අභයරාජ කුමාර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය:
“ස්වාමීනි, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගතතෙම එබඳු වචනය කියන්නේද?” “රාජ කුමාරය, එය ඒකාන්ත (එලෙසම) නොවේ”යයි (වදාළේය). “ස්වාමීනි, මේ ප්‍රශ්නයෙහිදී නිගණ්ඨයෝ නැසුනාහුය”යි (කීයේය). “රාජකුමාරය, කුමට වනාහි නුඹ, ‘ස්වාමීනි, මෙහි නිගණ්ඨයෝ නැසුනාහුය”යි මෙසේ කියන්නෙහිද?” “ස්වාමීනි, මෙහි මම නිගණ්ඨනාත පුත්‍රතෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ එකපැත්තක හුන්නෙමි. ස්වාමීනි, එක පැත්තක හුන්නාවූ මට නිගණ්ඨනාත පුත්‍රතෙම මෙය කීයේය: ‘රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතමයන්ට දෝෂයක් නගව, අභය රාජකුමාරයා විසින් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්ට දෝෂ දක්වන ලද්දේයයි මෙසේ නුඹගේ යහපත්වූ ගුණ ඝොෂාවෙක් පැණනගින්නේය. ස්වාමීනි, මෙසේ කීකල්හි මම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීවෙමි.’ ‘ස්වාමීනි, ඒ කෙසේ නම් මම මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපනය කරන්නෙම්ද?’ ‘රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතම තෙම යම් තැනෙක් හිද, එතැනට එළඹෙව. එළඹ, ශ්‍රමණ ගෞතමයන්ට මෙසේ කියව. ‘ස්වාමීනි, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද, තථාගත තෙම එබඳු වචනය කියන්නේද?’ ඉදින් නුඹ විසින් මෙසේ අසන ලද්දාවූ ශ්‍රමණ ගෞතම තෙම ‘රාජ කුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගත තෙම එබඳු වචනය කියන්නේයයි’ මෙසේ ප්‍රකාශ කරයි නම් ඔහුට නුඹ මෙසේ කියව. ‘ස්වාමීනි, එසේ ඇති කල්හි, නුඹ වහන්සේගේ හා පෘථග්ජනයෙකුගේ කවර වෙනසක්ද? පෘථග්ජන තෙමේද වනාහී යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද, එබඳු වචනය කියන්නේයයි, කියව”. ඉදින් වනාහී නුඹ විසින් මෙසේ විචාළාවූ ශ්‍රමණ ගෞතම තෙම ‘රාජකුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගත තෙම එබඳු වචනය නොකියන්නේයයි’ මෙසේ ප්‍රකාශ කරයි නම්, ඔහුට නුඹ මෙසේ කියව: ‘ස්වාමීනි, එසේ ඇති කල්හි කුමට නුඹවහන්සේ විසින් දෙව්දත් තෙම අපායෙහි උපදින්නෙක, දෙව්දත් තෙම නිරයෙහි උපදින්නෙක, දෙව්දත් තෙම කල්පයක් නිරයෙහි සිටින්නෙක, දෙව්දත් තෙම පිළියම් කළ නොහැක්කෙකැයි’ ප්‍රකාශ කරන ලද්දේද? නුඹවහන්සේගේ ඒ වචනයෙන් වනාහී දෙව්දත් තෙම කිපියේ නොසතුටු සිත් ඇත්තේ වූයේ නොවේදැයි’ ඇසිය යුතුය. රාජකුමාරය, නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලද්දාවූම ශ්‍රමණ ගෞතම තෙම වමාරන්ටත් නොහැකි වෙයි. ගිලගන්ටත් නොහැකි වෙයි. යම්සේ නම් පුරුෂයෙකුගේ බොටුවෙහි ඇවුලුනු යකඩ කොක්කක් ඔහුට වමාරන්ටත් නොහැකි වන්නේද, ගිලගන්ටත් නොහැකි වන්නේද, රාජකුමාරය, එපරිද්දෙන්ම නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලද්දාවූම ශ්‍රමණ ගෞතම තෙම වමාරන්ටත් නොහැකි වේ. ගිලගන්ටත් නොහැකි වේයයි” (කීයේය).