2. 1. 6.
උපාලි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නම් නුවර පාවාරික නම් සිටුහුගේ අඹ උයනෙහි කරවනලද විහාරයෙහි වැඩ වාසය කළහ. එකල්හි වනාහි නිගණ්ඨනාත පුත්‍රතෙමේ මහත්වූ නිගණ්ඨ පිරිසක් සමග නාලන්දා නුවර වාසය කරයි. එකල්හි දීඝතපස්සී නම් නිගණ්ඨතෙම නාලන්දා නුවර පිඩු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ පාවාරික නම් අඹ උයන යම් තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටුවිය යුතුවූ සිහිකට යුතුවූ කථාව කොට නිමවා එක්පැත්තක සිටියේය. එක පැත්තක සිටියාවූම දීඝතපස්සී නම් නිගණ්ඨයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ: “තපස්සීය, ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් හිඳ ගනුව”යි. මෙසේ කී කල්හි දීඝතපස්සී නම් නිගණ්ඨ තෙම එක්තරා මිටි අස්නක් ගෙණ එක් පැත්තක වාඩිවිය. එක් පැත්තක උන්නාවූ දීඝතපස්සී නම් නිගණ්ඨයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ:
“තපස්සීය, නිගණ්ඨනාත පුත්‍රතෙම පාපකර්මය කිරීම පිණිස පාපකර්මයාගේ පැවැත්ම පිණිස කෙතෙක් කර්ම පනවාදැ”යි. “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කර්මය කර්මයයි පනවන්ට නිගණ්ඨනාත පුත්‍රයාහට පුරුද්දක් නැත. ඇවැත්නි, ගෞතමයන් වහන්ස, දණ්ඩය දණ්ඩයයිම පනවන්ට නිගණ්ඨනාත පුත්‍රයාගේ පුරුද්ද වේයයි” කීය. “තපස්සිය, නිගණ්ඨනාත පුත්‍රතෙම පාප කර්ම කිරීමට පාපකර්මයාගේ පැවැත්මට කෙතෙක් නම් දණ්ඩයන් පනවාද?” “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, නිගණ්ඨනාත පුත්‍ර තෙම පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට දණ්ඩ තුනක්ම පනවයි. එනම් කාය දණ්ඩය, වචී දණ්ඩය, මනො දණ්ඩය යන තුනයි.” “තපස්සිය, කිමෙක්ද? කාය දණ්ඩය අනිකක්මද? වචී දණ්ඩය අනිකක්මද? මනො දණ්ඩය අනිකක්මද” “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කාය දණ්ඩය අනිකක්මය, වචී දණ්ඩය අනිකක්මය, මනො දණ්ඩය අනිකක්මය.”
“තපස්සිය, මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ දණ්ඩ තුන අතුරෙන් කවර නම් දණ්ඩයක් නිගණ්ඨනාත පුත්‍ර තෙම පාප කර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වාද? ඉදින් කාය දණ්ඩය හෝ වේද ඉදින් වචී දණ්ඩය හෝ වේද? ඉදින් මනො දණ්ඩය හෝ වේද?” “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ දණ්ඩ තුන අතුරෙන් කාය දණ්ඩය නිගණ්ඨනාත පුත්‍රතෙම පාපකර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වයි. වචී දණ්ඩය එසේ නොදක්වයි. මනො දණ්ඩය එසේ නොදක්වයි.” “තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?” “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කාය දණ්ඩයයි කියමි.” “තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?” “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කාය දණ්ඩයයි කියමි.” “තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?” “ඇවැත්නි ගෞතමයන් වහන්ස, කාය දණ්ඩයයි කියමි.” මෙසේ භාග්‍යවතුන් වහන්සේ දීඝතපස්සී නම් නිඝණ්ඨයා මේ කීමෙහි තුන්වෙනි වර දක්වා පිහිටුවූහ.
මෙසේ වදාළ කල්හි දීඝතපස්සී නම් නිගණ්ඨ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ වනාහී පාපකර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට කෙතෙක් දණ්ඩයන් පනවන්නෙහිද?” “තපස්සීය, තථාගතයන්ට දණ්ඩය දණ්ඩයයි පනවන්ට පුරුද්දක් නැත. තපස්සිය, කර්මය කර්මයයිම පැනවීම තථාගතයන්ගේ පුරුද්දවේ.” “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ වනාහි පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට කෙතෙක් කර්මයන් පනවන්නෙහිද?” “තපස්සිය, මම වනාහි පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට කර්ම තුනක් දක්වමි. එනම් කායකර්මය, වචීකර්මය, මනොකර්මය යන තුනයි.” “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කිම? කායකර්මය, අනිකක්මද? වචීකර්මය අනිකක්මද? මනොකර්මය අනිකක්මද?” “තපස්සිය, කායකර්මය අනිකක්මය, වචීකර්මය අනිකක්මය. මනො කර්මය අනිකක්මය.”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ කර්ම තුන අතුරෙන් කවර නම් කර්මයක් පාප කර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වන්නෙහිද? ඉදින් කායකර්මය හෝ වේද? ඉදින් වාක් කර්මය හෝ වේද? මනොකර්මය හෝ වේද?” “තපස්සිය, මම වනාහී මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ කර්ම තුන අතුරෙන් මනොකර්මය පාප කර්මය කිරීමට, පාපකර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වමි. කාය කර්මය එසේ නොවේ, වාක් කර්මය එසේ නොවේ.” “ඇවැත්නි, ගෞතමයන්වහන්ස, මනො කර්මයයි කියන්නෙහිද?” “තපස්සිය, මනො කර්මයයි කියමි.” “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, මනො කර්මයයි කියන්නෙහිද?” “තපස්සිය, මනොකර්මයයි කියමි.” “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, මනොකර්මයයි කියන්නෙහිද?” “තපස්සිය, මනො කර්මයයි කියමි.” මෙසේ දීඝතපස්සි නිගණ්ඨ තෙම භාග්‍යවතුන් වහන්සේ මේ කීමෙහි තුන්වෙනි වර දක්වා පිහිටුවා හුනස්නෙන් නැගිට නිගණ්ඨනාත පුත්‍ර තෙමේ යම් තැනෙක්හිද එතැනට ගියේය.
එසමයෙහි වනාහි නිගණ්ඨනාත පුත්‍රතෙම උපාලි ගෘහපතියා ප්‍රධාන කොට ඇති බාලක නම් ගම් වැසි මහත්වූ ගිහි පිරිසක් සමග හුන්නේ වෙයි. නිගණ්ඨනාත පුත්‍ර තෙම එන්නාවූ දීඝතපස්සී නම් නිගණ්ඨයා දුරදීම දුටුයේය. දැක දීඝතපස්සී නම් නිගණ්ඨයාට මෙසේ කීයේය: “තපස්සිය, නුඹ මේ දවල් කාලයෙහි කොහි සිට එන්නෙහිද?” “ස්වාමීනි, මම මේ ශ්‍රමණ ගෞතමයන්ගේ සමීපයෙහි සිට එමි.” “තපස්සිය, ශ්‍රමණ ගෞතමයන් හා සමග තොපගේ කිසි යම් කථාබහෙක් වූයේද?” “ස්වාමීනි, ශ්‍රමණ ගෞතමයන් හා සමග මාගේ කිසියම් කථා බහෙක් වූයේය.” “තපස්සිය, ශ්‍රමණගෞතමයන් හා සමග තොපගේ කිසි යම් කථා බහෙක් කෙසේ නම් වූයේද?” එකල්හි දීඝතපස්සී නිගණ්ඨතෙම භාග්‍යවතුන් වහන්සේ සමග පැවැත්වූ කථා සල්ලාපය යම්තාක් වීද, ඒ සියල්ල නිගණ්ඨනාත පුත්‍රයාට කීයේය. මෙසේ කීකල්හි නිගණ්ඨනාත පුත්‍රතෙම දීඝතපස්සි නිගණ්ඨයාට මෙය කීයේය: “තපස්සිය, යහපත, යහපත, මනා කොටම ශාස්තෘහුගේ ශාසනය දන්නාවූ උගත් ශ්‍රාවකයෙකු විසින් යම්සේ නම් එසේම දීඝතපස්සී නම් නිගණ්ඨයා විසින් ශ්‍රමණ ගෞතමයන්හට ප්‍රකාශ කරණලදී. මෙසේ මහත්වූ මේ කාය දණ්ඩය හා සමකරන විට ලාමකවූ මනො දණ්ඩය කුමක්ද? කාය දණ්ඩයම පාපකර්ම කිරීමට පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදවේ. වාක් දණ්ඩය එසේ නොවේ. මනො දණ්ඩය එසේ නොවේය”යි.