2. 1. 5.
5. ජීවක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර (කුමාරයෙකු විසින් පොෂණය කරන ලද හෙයින්) කෝමාරභච්ච නම්වූ ජීවකයන්ගේ අඹ උයනෙහි (කරවන ලද විහාරයෙහි) වැඩ වාසය කරති. එකල්හි වනාහි ජීවක නම් කොමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටි ජීවක නම් කොමාර භච්චතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, මා විසින් මෙය අසනලදී. ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්, ශ්‍රමණ ගෞතම තෙමේ දැන ගෙන උදෙසා කරන ලද (තමන් පිණිස කරනලද) ඒ මාංසය වළඳන්නේය’ යනුයි. ස්වාමීනි, යම් ඒ කෙනෙක් මෙසේ කීවාහුද? ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්. ශ්‍රමණ ගෞතමතෙමේ දැනගෙන උදෙසා කරනලද ඒ මාංසය වළඳන්නේයයි’ (කියායි) ස්වාමීනි, කිමෙක්ද ඔවුහු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නාහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දොස් නොකියත්ද? භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද කාරණයට අනුව කරුණු කියත්ද? කිසියම් කරුණු සහිතවූ වාදානුවාදයෙක් ගැරහියයුතු තැනට නොපැමිණේදැයි” (ඇසීය)
“ජීවකය, යම් ඒ කෙනෙක් මෙසේ කීවාහුද? ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්. ශ්‍රමණ ගෞතම තෙමේ දැනගෙන උදෙසා කරනලද ඒ මාංසය පරිභොග කරන්නේ යයි’ (කියායි.) ඔවුහු මා විසින් කරන ලද්දක් කියන්නාහු නොවෙත්. ඔවුහු මට බොරුවකින් දොස් කියන්නාහුද වෙත්. ජීවකය, මම වනාහී කරුණු තුනකින් යුක්තවූ මාංසය පරිභොග නොකට යුතුයයි කියමි. දක්නා ලද්දය, අසන ලද්දය, සැක කරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහී මේ කරුණුතුනෙන් යුක්තවූ මාංසය පරිභොග නොකට යුතුයයි කියමි. ජීවකය, මම වනාහී කරුණු තුනකින් යුක්තවූ මාංසය පරිභොග කටයුතුයයි කියමි. නොදක්නා ලද්දය, නොඅසන ලද්දය, සැක නොකරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහි මේ කරුණු තුනින් යුක්තවූ මාංසය වැළඳිය යුතුයයි කියමි.
“ජීවකය, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියලු තැන පතළාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. ඒ භික්ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමති වන්නේම මහණතෙම එය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදර යම් තැනෙක්හිද එතැනට පැමිණෙයි. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි: ‘මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවයි නම් ඉතා යහපති. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ මතුවටද මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් ඉතා යෙහෙකැ’යි.
මෙබඳු සිතක්ද ඔහුට ඇති නොවෙයි. හෙතෙම ඒ පිණ්ඩපාතය තෘෂ්ණාවෙන් ගැට නොගැසුණේ, මූර්ඡා නොවූයේ, එහි නොගිලුණේ, දොස් දක්නා සුළුවූයේ, නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව වළඳයි. ජීවකය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම, ඒ මහණතෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස හෝ සිතයිද? අනුන්හට දුක් පිණිස හෝ සිතයිද? දෙපසටම දුක් පිණිස හෝ සිතයිද?” “ස්වාමීනි, එසේ නොසිතයි.” “ජීවකය, ඒ මහණතෙම ඒ කාලයෙහි නිවැරදිවූම ආහාරය ගන්නේ නොවේද?” “ස්වාමීනි, එසේය. ස්වාමීනි, බ්‍රහ්මතෙම මෛත්‍රී විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසා තිබේ. ස්වාමීනි, ඒ මේ කරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇසින්ම දක්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි මෛත්‍රී විහරණ ඇති සේක.” “ජීවකය, යම් රාගයකින්, යම් ද්වේෂයකින්, යම් මෝහයකින් ව්‍යාපාද ඇත්තෙක් වන්නේද, ඒ රාගය ඒ ද්වේෂය ඒ මෝහය තථාගතයන් වහන්සේට ප්‍රහීණවූයේ, සිඳින ලද මුල් ඇත්තේ, මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැවත නොවීම කරන ලද්දේ, මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියන ලද්දේ නම් තට එය අනුදනිමි” යි වදාළ සේක. “ස්වාමීනි, මා විසින් ඒ සඳහාම කියන ලදී.”
“ජීවකය, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම කරුණා සහගත සිතින් -පෙ- මුදිතා සහගත සිතින් -පෙ- උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියලු තැන පතළාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. ඒ භික්ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමති වන්නේම මහණතෙම එය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදර යම් තැනෙක්හිද එතැනට පැමිණෙයි. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි: ‘මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවයි නම් ඉතා යහපති. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ මතුවටද මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් ඉතා යෙහෙකැ’යි. මෙබඳු සිතක්ද ඔහුට නොවෙයි. හෙතෙම ඒ පිණ්ඩපාතය තෘෂ්ණාවෙන් ගැට නොගැසුණේ, මූර්ඡා නොවූයේ, එහි නොගිලුණේ, දොස් දක්නා සුළුවූයේ, නිස්සරණ ප්‍රඥා ඇත්තේ වළඳයි. ජීවකය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම, ඒ මහණතෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස හෝ සිතයිද? අනුන්හට දුක් පිණිස හෝ සිතයිද? දෙපසටම දුක් පිණිස හෝ සිතයිද?” “ස්වාමීනි, එය නොවේමැයි.” “ජීවකය, ඒ මහණතෙම ඒ කාලයෙහි නිවැරදිවූම ආහාරය ගන්නේ නොවේද?” “ස්වාමීනි, එසේය. ස්වාමීනි, බ්‍රහ්මතෙම උපේක්ෂා විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, ඒ මේ කරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇසින්ම දක්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි උපේක්ෂා විහරණ ඇති සේක.” “ජීවකය, යම් රාගයකින් යම් ද්වේෂයකින් යම් මෝහයකින් හිංසා (විහේසා) ඇත්තෙක් වන්නේද, නොඇල්ම (අරති) ඇත්තෙක් වන්නේද, ගැටීම (ප්‍රතිඝ) ඇත්තෙක් වන්නේද, ඒ රාගය ඒ ද්වේෂය ඒ මෝහය තථාගතයන් වහන්සේට ප්‍රහීණවූයේ, සිඳින ලද මුල් ඇත්තේ, මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැවත නොවීම කරන ලද්දේ, මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියන ලද නම්, තට එය අනුදනිමි.” “ස්වාමීනි, මා විසින් ඒ සඳහාම කියන ලදී.”