2. 1. 4.
පොතලිය සූත්‍රය
31. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ අංගුත්තරාප නම් ජනපදයෙහි අංගුත්තරාප නම් දනව් වැස්සන්ගේ ආපණ නම් නියම් ගමෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳපෙරවා පාසිවුරු ගෙන ආපන නම් නියම් ගමට පිඩු පිණිස වැඩියහ. ආපණ නම් නියම් ගමෙහි පිඩු පිණිස හැසිර බතින් පසු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ එක්තරා වන ලැහැබක් යම් තැනෙක්හිද එතැනට දිවා විහරණය (දවල් විවේකය) පිණිස වැඩියහ. ඒ වන ලැහැබට ඇතුල්ව එක්තරා ගසක්මුල දිවා විහරණය සඳහා වැඩහුන්හ.
පොතලිය නම් ගෘහපතිතෙමේද සම්පූර්ණ හැඳීම් පෙරවීම් ඇත්තේ කුඩයෙන් හා පාවහන් වලින් යුක්තව පා ගමනින් සක්මන් කරන්නේ ඒ වනලැහැබ යම් තැනෙක්හිද එතැනට ගියේය. ඒ වන ලැහැබට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටියාවූම පොතලිය ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ “ගෘහපතිය, ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් ඉඳ ගනුව”යි කීහ. මෙසේ කී කල්හි පොතලිය ගෘහපති තෙම “මට ශ්‍රමණ ගෞතමතෙම ගෘහපති වාදයෙන් (ගෘහපතියාය කීමෙන්) කථා කරයි” කියා කිපුනේ නොසතුටු සිත් ඇත්තේ නිශ්ශබ්ද වූයේය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ පොතලිය ගෘහපතියාට මෙසේ කීහ. “ගෘහපතිය, ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් ඉඳ ගනුව”යි කීහ. දෙවනුවද පොතලිය ගෘහපතිතෙම මට ශ්‍රමණ ගෞතම තෙම ගෘහපති වාදයෙන් කථාකරන්නේය”යි කිපුනේ නො සතුටු සිත් ඇත්තේ නිශ්ශබ්ද වූයේය. තුන් වෙනුවද භාග්‍යවතුන් වහන්සේ පොතලිය නම් ගෘහපතියාට මෙසේ කීහ. “ගෘහපතිය, ආසන ඇත්තාහ, ඉදින් කැමැත්තෙහි නම් ඉඳ ගනුව” මෙසේ කීකල්හි පොතලිය නම් ගෘහපති තෙම මට ශ්‍රමණ ගෞතම තෙම ගෘහපති වාදයෙන් කථා කරන්නේය”යි කිපුනේ නො සතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ මට ගෘහපති වාදයෙන් කථා කෙරෙහිය යන යමක් වේද ඒ මේ කාරණය නුසුදුසුය, ඒ මේ කාරණය නොගැලපේ”යයි කීය.
“ගෘහපතිය, තොපගේ ආකාරයද, සටහණද ලකුණුද ගෘහ පතියෙකුගේ මෙනි.” “භවත් ගෞතමයන් වහන්ස, එසේද වුවත් මා විසින් සියළු කර්මාන්තයෝ අත්හරින ලද්දාහ. සියළු ව්‍යවහාරයෝ (වෙළ හෙළඳාම්) සිඳ දමන ලද්දාහ.” “ගෘහපතිය, කෙසේ නම් තා විසින් සියළු කර්මාන්තයෝ අත්හරින ලද්දාහුද? සියලු ව්‍යවහාරයෝ (වෙළහෙළඳාම්) සිඳ දමන ලද්දාහුද?” “භවත් ගෞතමයන් වහන්ස, මෙහි මාගේ ධනයක් හෝ ධාන්‍යයක් හෝ රිදීවූවක් හෝ රත්‍රන් වූවක් හෝ යමක් ඇද්ද ඒ සියල්ල පුත්‍රයන්ට දායාද කොට පාවා දෙන ලදී. එහි මම මෙසේ කරවයි, අවවාද නොකරන්නෙම් නම් මෙසේ නොකරවයි නැවත නොකියන්නෙම් නම් කෑම ඇඳීම ලැබීම පමණක් ඇත්තේ වාසය කරමි. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ වනාහි මා විසින් සියළු කර්මාන්තයෝ අත්හැරීම කරන ලද්දාහ. සියළු ව්‍යවහාරයෝ (වෙළ හෙළඳාම්) සිඳ දමන ලද්දාහ”යි කීයේය.
“ගෘහපතිය, නුඹ කියන ව්‍යවහාර සිඳීම වෙන ආකාරයකින් වේ, ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වෙන ආකාරයකින් වේ.” “ස්වාමීනි, කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්සේ ආර්‍ය්‍ය විනයයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද, මට එසේ ධර්මය දේශනා කරත්වා”යි (ඉල්ලාසිටියේය.) “ගෘහපතිය, එසේ නම් අසව, යහපත් කොට මෙනෙහි කරව. කියන්නෙමි”යි, වදාළහ. “ස්වාමීනි, එසේය”යි කියා පොතලිය ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ.
32. “ගෘහපතිය, මේ ධර්ම අටක් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සිඳීම පිණිස පවතිත්, කවර අටක්ද යත්: සතුන් නොමැරීම නිසා සතුන් මැරීම දුරුකටයුතුය, දුන්දෙය ගැනීම නිසා නුදුන්දෙය ගැනීම දුරුකටයුතුය, ඇත්තකීම නිසා බොරු කීම දුරුකටයුතුය, කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරු කටයුතුය, ගිජුවීමයයි කියන ලද ලෝභය නොකිරීම නිසා ගිජුවීමයයි කියන ලද ලෝභය දුරුකටයුතුය, නින්දා කිරීමෙන් නොගැටීම නිසා නින්දා කිරීමෙන් ගැටීම දුරු කටයුතුය, ක්‍රෝධයවූ දැඩි වෙහෙස නොකිරීම නිසා ක්‍රෝධය වූ දැඩි වෙහෙස දුරු කටයුතුය, අධික මානය නොකිරීම නිසා අධික මානය දුරු කටයුතුය. ගෘහපතිය, සංක්ෂෙපයෙන් කියන ලද විස්තර වසයෙන් විභාග නොකරන ලද මේ ධර්ම අට ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සිඳීම පිණිස පවතිත්” යයි වදාළහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ධර්ම අටක් සංක්ෂෙපයෙන් කියන ලද්දාහු විස්තර වශයෙන් විභාග නොකරන ලද්දාහු ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡෙදය පිණිස පවතිත්ද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම අට මට අනුකම්පා පිණිස විස්තර වසයෙන් විභාග කෙරෙත්වා”යි කීයේය. “ගෘහපතිය, එසේ වීනම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළහ. “ස්වාමීනි, එසේය”යි කියා පොතලිය ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
33. “ප්‍රාණඝාත නොකිරීම නිසා ප්‍රාණඝාතය දුරුකටයුතු යයි, මෙසේ වනාහී මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. යම් සංයෝජන කෙනෙකුන්ගේ හේතුවෙන් මම ප්‍රාණඝාත කරන්නෙක් වන්නෙම්ද ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස මම පිළිපන්නෙක් වෙමි. මමද වනාහි ප්‍රාණඝාත කරන්නෙක් වන්නෙම් නම් තෙමේද තම හට ප්‍රාණඝාත කිරීම නිසා ගරහන්නේය. දැන ගෙණ නුවණැත්තෝද, ප්‍රාණඝාතය නිසා ගරහන්නාහුය. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි ප්‍රාණඝාත හේතුවෙන් දුර්ගතියද කැමති විය යුත්තීය. යම් මේ ප්‍රාණඝාතයක් වේද, එයම සංයෝජනය වෙයි, එයම නීවරණයද වෙයි, දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් ප්‍රාණඝාත හේතුවෙන් උපදින්නාහුද, ප්‍රාණඝාතයෙන් වැළකුනාවූ මොහුට මෙසේ ඒ දුක්වූ දැවිලි ඇති ආශ්‍රවයෝද නොවෙත්. ප්‍රාණඝාත නොකිරීම නිසා ප්‍රාණඝාතය දුරුකටයුතුයි යන ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.
34. “දුන්දෙය ගැනීම නිසා නුදුන් දෙය ගැනීම දුරුකට යුතුයයි මෙසේ වනාහී මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකන්නේය. යම් සංයෝජන කෙනෙකුන්ගේ හේතුවෙන් මම නුදුන් දෙය ගන්නෙක් වන්නෙම්ද මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නෙක් වෙමි. මමද වනාහී නුදුන් දෙය ගන්නෙක් වීනම් තමාද තමහට නුදුන් දෙය ගැනීම නිසා ගරහන්නේය.