2. 1. 3.
සෙඛ සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයන්හි කිඹුල්වත් පුරයෙහිවූ නිග්රොධාරාමයෙහි වැඩවාසය කළහ. එකල්හි කිඹුල්වත් පුරවැසි ශාක්ය රජුන්ගේ අලුත කරවනලද අලුත්වූ සන්ථාගාරශාලාව මහණෙකු විසින් හෝ බ්රාහ්මණයෙකු විසින් හෝ මනුෂ්යවූ කිසිවෙකු විසින් හෝ වාසය නොකරන ලද්දේ වෙයි. ඉක්බිති කිඹුල්වත් පුරවැසි ශාක්යයෝ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට ගියහ. ගොස් භාග්යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්හ. එක්පැත්තක හුන්නාවූම කිඹුල්වත් පුරවැසි ශාක්යයෝ භාග්ය වතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, මෙහි කිඹුල්වත් පුර වැසි ශාක්යයන්ගේ අලුත කරවනලද අලුත්වූ සන්ථාගාර ශාලාව මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ කිසියම් මිනිස්වූවෙකු විසින් හෝ වාසය නොකරන ලද්දේය. ස්වාමීනි එය භාග්යවතුන් වහන්සේ පළමුකොට පරිභොග කෙරේවා භාග්යවතුන් වහන්සේ විසින් පළමු කොට පරිභොග කරන ලද, ස්නාථාගාර ශාලාව පසුව කිඹුල්වත්පුර වැසි ශාක්යයෝ පරිභොග කරන්නාහුය. එය කිඹුල්වත්පුරවැසි ශාක්යයන්ට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස, වන්නේයයි” (කීහ). භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්දවීමෙන් ඉවසූහ.
එකල්හි කිඹුල්වත් පුරවැසි ශාක්යයෝ භාග්යවතුන් වහන්සේගේ ඉවසීම දැන උන් ආසනයෙන් නැගිට භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සන්ථාගාර ශාලාව යම් තැනකද එහි ගියහ. ගොස් සන්ථාගාර ශාලාව සියළු තන්හි ඇතිරිලි අතුරා ආසන පනවා දියසැලක් තබා තෙල් පහණක් දල්වා භාග්යවතුන් වහන්සේ යම් තැනකද එහි ගියහ. ගොස් භාග්යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක සිටියාහුය. එක් පැත්තක සිටියාවූම කිඹුල්වත්පුර වැසි ශාක්යයෝ භාග්යවතුන් වහන්සේට මෙය කීවාහුය. “ස්වාමීනි, සන්ථාගාර ශාලාව සියළු තන්හි ඇතිරිලි අතුරණලදී. ආසන පනවන ලදී. දිය සැලක් තබන ලදී. තෙල් පහණ දල්වන ලද්දේය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ දැන් එහි වැඩම වීමට සුදුසු කල්වේයයි දන්නාසේක්වා”යි (කීහ.) ඉක්බිති භාග්යවතුන් වහන්සේ හැඳ පෙරවා පාසිවුරු ගෙණ භික්ෂු සංඝයා සමග සන්ථාගාර ශාලාව යම් තැනකද එතැනට වැඩියහ. වැඩ පා සෝදා සන්ථාගාර ශාලාවට ඇතුල්ව එහි මැද කණුවට පිටදී පෙරදිගට මුහුණලා වැඩහුන්හ. භික්ෂු සංඝතෙමේද පා සෝදා සන්ථාගාර ශාලාවට ඇතුල්ව බටහිර දිගවූ භික්තියට පිටදී පෙර දිගට මුහුණලා භාග්යවතුන් වහන්සේම ඉදිරියෙහි කොට වැඩහුන්හ. කිඹුල්වත්පුර වැසි ශාක්යයෝද පා සෝදා සන්ථාගාර ශාලාවට ඇතුල්ව පෙරදිගවූ භික්තියට පිටදී බටහිර දිගට මුහුණලා භාග්යවතුන් වහන්සේම ඉදිරියෙහි කොට හුන්නාහුය. එකල්හි භාග්යවතුන් වහන්සේ කිඹුල්වත් පුරවැසි ශාක්යයන් රාත්රි බොහෝ වේලාවක්ම දැහැමි කථාවෙන් කරුණු දක්වා සමාදන් කරවා මනාව උත්සාහවත් කරවා සතුටු කරවා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ. “ආනන්දය, කිඹුල්වත්පුර වැසි ශාක්ය රජ දරුවන්ට ශෛක්ෂවූ ප්රතිපදාව කියව මාගේ පිට රුජා කෙරෙයි. එහෙයින් මම දිග හැරෙන්නෙමි” යි (කීහ) “එසේය ස්වාමීනි”යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. එකල්හි භාග්යවතුන් වහන්සේ දෙපට සිවුර හතරට නමා අතුරා දකුණු ඇලයෙන් දකුණු පයෙහි වම්පය මදක් ඉක්මවා තබා සිහිනුවණ ඇත්තේ නැගිටිමි යන සංඥාව ඇතිව සිංහ සෙය්යාවෙන් සයනය කළහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මහානාම ශාක්ය රජුට මෙසේ කීහ. “මහානාමය, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවක තෙම සීලයෙන් යුක්තවූයේ වෙයිද, ඉන්ද්රියන්හි වැසූ දොරටු ඇත්තේ වෙයිද, භොජනයෙහි පමණ දන්නේ වෙයිද, නිදි දුරුකිරීමෙහි යෙදුනේ වෙයිද, සත්වැදෑරුම්වූ සද්ධර්මයන් ගෙන් යුක්තවූයේ වෙයිද, ශ්රේෂ්ඨ සිත ඇසුරුකළාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ සිවු වැදෑරුම් ධ්යානයන් කැමති පරිදි ලබන්නේ වෙයි, සුවසේ ලබන්නේ වෙයි, මහත් වශයෙන් ලබන්නේ වෙයි.
“මහානාමය, ආර්ය්ය ශ්රාවක තෙම කෙසේ නම් සීලයෙන් යුක්තවූයේ වෙයිද? මහානාමය, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවකතෙම සිල් ඇත්තේවෙයිද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ සුළුවූද වරදෙහි භය දක්නා සුළුවූයේ වාසයකරයිද, සමාදන්ව ශික්ෂා පදයන්හි හික්මෙයිද, මහානාමය, මෙසේ වනාහි ආර්ය්ය ශ්රාවකතෙම සීලයෙන් යුක්තවූයේ වෙයි.
“මහානාමය, කෙසේ නම් ආර්ය්ය ශ්රාවකතෙම ඉන්ද්රියයන්හි වසනලද දොරටු ඇත්තේවේද? මහානාමය, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවකතෙම ඇසින් රූපයක් දැක නිමිති වසයෙන් නොගනීද නැවත නැවත මතක්වන සේ සිතට නොගනීද යමක් හේතුකොට ගෙන මේ ඇසෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ පහළවන්නාහුද ඒ ඇස සංවරය පිණිස පිළිපදියිද, ඇස රකියිද, ඇසෙහි සංවරයට පැමිණෙයිද, කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් නොගනීද, නැවත නැවත මතක් වනසේ සිතට නොගනීද, යමක් හේතු කොට ගෙන සොතෙන්ද්රියය (කණ) අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිද්ද එහි සංවරය පිණිස පිළිපදියිද, සොත ඉන්ද්රිය රකීද, සොත ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙයිද. “නාසයෙන් ගඳක් ආඝ්රාණයකොට එය නිමිති වශයෙන් නොගනීද, එය නැවත නැවත මතක්වනසේ සිතට නොගනීද, යමක් හේතුකොට ගෙන ඝ්රාණ ඉන්ද්රියය අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියිද, ඝ්රාණ ඉන්ද්රියය රකියිද, ඝ්රාණ ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙයිද. “දිවෙන් රසයක් විඳ එය නිමිති වශයෙන් නොගනීද, නැවත නැවත මතක් වනසේ සිතට නොගනීද, යමක් හේතු කොටගෙන ජිව්හා ඉන්ද්රිය අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ, උපදිද්ද එහි සංවරය පිණිස පිළිපදියිද, ජිව්හා ඉන්ද්රියය රකියිද, ජිව්හා ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙයිද. “කයින් පහසක් ස්පර්ශ කොට එය නිමිති වශයෙන් නොගනීද, නැවත නැවත මතක් වනසේ සිතට නොගනීද, යමක් හේතු කොටගෙන කාය ඉන්ද්රිය අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියිද, කාය ඉන්ද්රිය රකියිද, කාය ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙයිද. “සිතින් ධර්මාරමුණු දැන නිමිති වශයෙන් නොගනීද නැවත නැවත මතක්වනසේ සිතට නොගනීද, යම් හේතුවකින් මේ මනින්ද්රියෙහි (හිතෙහි) සංවර රහිතව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියිද, මනින්ද්රිය රකියිද, මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයිද, මහානාමය, මෙසේ වනාහී ආර්ය්ය ශ්රාවක තෙම ඉන්ද්රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි.
“මහානාමය, කෙසේ නම් ආර්ය්ය ශ්රාවකතෙම භොජනයෙහි පමණ දන්නේවේද, මහානාමය, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවකතෙම නුවණින් සලකා ආහාරය ගනියිද, ක්රීඩා පිණිස නොම ගනියිද, මද පිණිස නොගනියිද, අලංකාරය පිණිස නොගනියිද, යම්තාක්ම මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස ශරීර පීඩා වැලැක්ම පිණිස බ්රහ්මචර්ය්යයට අනුග්රහය පිණිස (ගනියිද) මෙසේ පුරාණවූ (බඩගිනි) වේදනාවද නසමි. අළුත්වූ වේදනාවද නූපදවන්නෙමි. මාගේ ජීවිතය පැවැත්වීමද, වැරදි නැති බවද පහසු විහරණයද වන්නේය යයි ආහාර ගනියිද, මහානාමය, මෙසේ වනාහි ආර්ය්ය ශ්රාවකතෙම භොජනයෙහි පමණ දන්නේ වෙයි,
“මහානාමය, කෙසේ නම් ආර්ය්ය ශ්රාවක තෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, මහානාමය, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවකතෙම (දාවල්) දවස සක්මනින්ද හිඳීමෙන්ද ආවරණය කටයුතු ධර්මයන්ගෙන් සිතපිරිසිදු කරයිද, රාත්රියේ ප්රථමයාමය සක්මනින්ද, හිඳීමෙන්ද ආවරණය කටයුතු ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයිද, රාත්රියේ මධ්යම යාමයෙහි දකුණු පයෙහි වම්පස මදක් ඉක්මවා තබා සිහි ඇත්තේ නුවණ ඇත්තේ නැගිටිමි යන සංඥාව ඇතිව දකුණු ඇලයෙන් සයනයකරයිද, රාත්රියේ අවසාන යාමයේ සයනයෙන් නැගිට සක්මනින්ද, හිඳීමෙන්ද ආවරණය කටයුතු ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයිද, මහානාමය, මෙසේ වනාහි ආර්ය්ය ශ්රාවකතෙම නිදි දුරුකිරීමෙහි යෙදුනේ වෙයි.