2. 1 .2
අට්ඨක නාගර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර සමීපයෙහි බෙලුව නම් ගම වැඩ වාසය කරති. එකල්හි අට්ඨකනම් නුවර වැසිවූ දසම නම් ගෘහපති තෙම කිසියම් කටයුත්තක් සඳහා පැලළුප් නුවරට පැමිණියේ වෙයි. ඉක්බිති අට්ඨකනම් නුවර වැසි දසම නම් ගෘහපතිතෙම කුක්කුටාරාමය (කුක්කුට නම් සිටුහු විසින් කරවන ලද හෙයින් එනම්වූ ආරාමය) යම් තැනෙක් හිද, එක්තරා භික්ෂු නමක් යම් තැනෙකද එතනට ගියේය. ගොස් ඒ භික්ෂුවට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ දසම නම් අට්ඨක නුවර වැසි ගෘහපති තෙම ඒ භික්ෂුවට මෙසේ කීයේය: “ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙකල්හි වාසය කරන්නේ කොහිද? අපි ඒ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දකිනු කැමැත්තම්හ” (යනුයි.) “ගෘහපතිය, මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලාමහනුවර සමීපයෙහිවූ බෙලුවනම් ගමෙහි වැඩවාසය කරති” (කීහ). 18. ඉක්බිති දසම නම් අට්ඨක නගර වැසි ගෘහපතිතෙම පැලළුප් නුවර ඒ කටයුත්ත නිමවා විශාලාමහනුවර බෙලුව නම් ගම යම් තැනෙක්හිද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක්පැත්තක උන්නේය. එක පැත්තක හුන්නාවූම දසම නම් අට්ඨක නගරවැසි ගෘහපතිතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය:
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරිනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවගේ කෙලෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද නැති නොවූ කෙලෙස් හෝ නැති වීමට පැමිණේද, නොපැමිණි නිරුත්තරවූ නිවණට හෝ පැමිණේද එබඳුවූ එකම ධර්මයක් සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකර ඇත්තේද?” “ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරිනලද ආත්ම ආශා ඇතිව, වාසය කරන්නාවූ භික්ෂුවගේ කෙලෙසුන්ගෙන් නොමිදුනාවූ සිත කෙලෙසුන් ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැතිවීමට යෙද්ද, නොපැමිණියාවූ නිරුත්තරවූ නිවණට පැමිණේද, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකරන ලද්දාවූ (එබඳුවූ) ධර්මයක් ඇත්තේ මැයි. “ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරිනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවගේ නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද, නැතිනොවූ කෙලෙස් නැතිවීමට යෙද්ද, නොපැමිණියාවූ නිරුත්තරවූ නිවණට පැමිණේද, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළාවූ එබඳුවූ ඒ එක් ධර්මය නම් කවරේද?”
“ගෘහපතිය, යම් ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද, හෙතෙම මෙසේ සලකයි. මේ පළමුවන ධ්‍යානය වනාහි හේතුවෙන් උපදවන ලද්දක්ය. සිතින් උපදවන ලද්දක්ය. යම් කිසිවක් වනාහි හේතුවෙන් උපදවන ලද්දේද, සිතින් උපදවන ලද්දේද එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තේ යයි දැනගනියි. හෙතෙම එහි (ඒ සමථ විදර්ශනා ධර්මයෙහි) සිටියේ කෙලෙස් නැසීමට පැමිණේ. ඉදින් කෙලෙස් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස්වැදෑරුම්වූ ඔරම්භාගියවූ සංයෝජන නැසීමෙන් එහි පිරිනිවෙන සුළුවූයේ ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකවෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරිනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද නැති නොවූ කෙලෙස් නැතිවීමට යෙද්ද, නොපැමිණියාවූ උතුම්වූ නිවණට පැමිණේද එබඳුවූ මේ එක් ධර්මයද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ රහත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලදී.
“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇත්තාවූ හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, හෙතෙම මෙසේ සලකයි. මේ දෙවන ධ්‍යානයද වනාහි ප්‍රත්‍යයෙන් කරන ලද්දක්ය. සිතින් උපදවන ලද්දක්ය. යම් කිසිවක් වනාහි ප්‍රත්‍යයෙන් කරන ලදද සිතින් උපදවන ලදද, එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තක්යයි දැන ගනියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙස් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙස් නැසීමට නොපැමිණේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස්වැදෑරුම්වූ ඔරම්භාගිය සංයෝජනයත් නැසීමෙන් එහි පිරිනිවෙන සුළුවූයේ, ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවගේ නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද, නැතිනොවූ කෙලෙස් නැතිවීමට යෙත්ද, නොපැමිණියාවූ නිවණට පැමිණේද, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාවූ මේද එක් ධර්මයකි.
“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියෙහිද නොඇල්මෙන් උපේක්ෂාවෙන් යුක්තව වාසය කරයිද, සිහියෙන් යුක්ත වූයේ නුවණින් යුක්ත වූයේ කයින් සුවය විඳියිද, යම් ඒ ධ්‍යානයක් ‘උපේක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැපසේ වසන්නේ ය’ යි ආර්යයෝ කියත්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි: ‘මේ තුන්වන ධ්‍යානයද කරන ලද්දකි, සිතින් (චේතනාවෙන්) උපදවන ලද්දකි. යම් කිසිවක් කරන ලද්දේද, සිතින් උපදවන ලද්දේද, එය අනිත්‍යය, නිරුද්ධ වන ස්වභාව ඇත්තේය’ යි දැනගනියි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම්, ඒ ධර්මයෙහි වූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහි වූ සතුටින්ම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන් ක්ෂය වීමෙන් ඕපපාතික වූයේ, එහිම පිරිනිවන් පාන්නේ, ඒ ලෝකයෙන් පෙරළා නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ගෘහපතිය, යම් ධර්මයක පිහිටා අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව, නිවන කෙරෙහි යොමු කළ සිත් ඇතිව වාසය කරන භික්ෂුවගේ නොමිදුණු සිත මිදේද, ක්ෂය නොවූ ආශ්‍රවයෝ ක්ෂය වීමට යද්ද, නොපැමිණි අනුත්තර යෝගක්‍ෂේමයට (නිවනට) පැමිණේද, දන්නා වූ දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද එක් ධර්මයක් මෙයද වෙයි.
“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපය දුරු කිරීමෙන්ද දුක දුරු කිරීමෙන්ද පළමුවම සොම්නස් දොම්නස් දෙක නැති වීමෙන්ද දුක් නොවූ සැප නොවූ, උපේක්ෂාවෙන් හටගත් සිහියේ පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි: ‘මේ සතරවන ධ්‍යානයද කරන ලද්දකි, සිතින් (චේතනාවෙන්) උපදවන ලද්දකි. යම් කිසිවක් කරන ලද්දේද, සිතින් උපදවන ලද්දේද, එය අනිත්‍යය, නිරුද්ධ වන ස්වභාව ඇත්තේය’ යි දැනගනියි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම්, ඒ ධර්මයෙහි වූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහි වූ සතුටින්ම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන් ක්ෂය වීමෙන් ඕපපාතික වූයේ, එහිම පිරිනිවන් පාන්නේ, ඒ ලෝකයෙන් පෙරළා නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ගෘහපතිය, යම් ධර්මයක පිහිටා අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව, නිවන කෙරෙහි යොමු කළ සිත් ඇතිව වාසය කරන භික්ෂුවගේ නොමිදුණු සිත මිදේද, ක්ෂය නොවූ ආශ්‍රවයෝ ක්ෂය වීමට යද්ද, නොපැමිණි අනුත්තර යෝගක්‍ෂේමයට (නිවනට) පැමිණේද, දන්නා වූ දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද එක් ධර්මයක් මෙයද වෙයි.
“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද පතුරුවා, මෙසේ උඩ යට සරස සියලු තන්හි, සියලු සත්ත්වයන් තමා හා සමකොට, සත්ත්වයන් සහිත මුළු ලෝකය විපුල වූ, මහත් බවට පැමිණි, අප්‍රමාණ වූ, වෛර නැති, ව්‍යාපාද නැති මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි: ‘මේ මෛත්‍රී චේතෝවිමුක්තියද කරන ලද්දකි, සිතින් (චේතනාවෙන්) උපදවන ලද්දකි. යම් කිසිවක් කරන ලද්දේද, සිතින් උපදවන ලද්දේද, එය අනිත්‍යය, නිරුද්ධ වන ස්වභාව ඇත්තේය’ යි දැනගනියි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම්, ඒ ධර්මයෙහි වූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහි වූ සතුටින්ම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන් ක්ෂය වීමෙන් ඕපපාතික වූයේ, එහිම පිරිනිවන් පාන්නේ, ඒ ලෝකයෙන් පෙරළා නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ගෘහපතිය, යම් ධර්මයක පිහිටා අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව, නිවන කෙරෙහි යොමු කළ සිත් ඇතිව වාසය කරන භික්ෂුවගේ නොමිදුණු සිත මිදේද, ක්ෂය නොවූ ආශ්‍රවයෝ ක්ෂය වීමට යද්ද, නොපැමිණි අනුත්තර යෝගක්‍ෂේමයට (නිවනට) පැමිණේද, දන්නා වූ දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද එක් ධර්මයක් මෙයද වෙයි.