1. 3. 9.
මහා සාරොපම සූත්රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ අචිරපක්කන්තෙ දෙවදත්තෙ. තත්ර ඛො භගවා දෙවදත්තං ආරබ්භ භික්ඛූ ආමන්තෙසි.
2. මහණෙනි, මෙහි ඇතැම් කුල පුත්රයෙක්, ‘ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද, මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි.
3. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තියෙන් සම්පූර්ණවූ අදහස් ඇතිව සතුටු වෙයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට සිතයි. අනුන් පහත්කොට සිතයි. ‘මම ලාභ ඇත්තේ වෙමි. අන්යවූ මේ භික්ෂූහු ප්රසිද්ධ නැත. අල්පෙශාක්යය’යි සිතයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත්වෙයි. විශේෂයෙන් මත්වෙයි, ප්රමාදයට පැමිණෙයි මත්වූයේම දුකසේ වාසය කරයි.
4. මහණෙනි, යම්සේ අරටුවෙන් ප්රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා, (අත්හැර) ඵලය ඉක්මවා, සුඹුල (පොත්ත) ඉක්මවා, පතුරු ඉක්මවා, අරටුවයයි සිතා අතු හා දලු සිඳ ගෙනයන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය, ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. ඵලය නොදත්තේය. පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය. ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා ඵලය ඉක්මවා පොත්ත ඉක්මවා, පතුරු ඉක්මවා අරටුවයි සිතා අතු හා දලු සිඳ ගෙන ගියේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඔහුගේ ඒ වැඩය සිදුනොවන්නේය.
5. මහණෙනි, එමෙන්ම මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්රයෙක්, ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද, මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම, ඒ ලාභ සත්කාර කීර්තියෙන් සම්පූර්ණවූ අදහස් ඇත්තේ සතුටු වෙයි හෙතෙම ඒ ලාභ සත්කාර කීර්ති නිසා තමන් උසස් කොට සිතයි. අනුන් පහත් කොට සිතයි. ‘මම ලාභ සත්කාර කීර්ති ඇත්තේ වෙමි. අන්යවූ මේ භික්ෂූහු ප්රසිද්ධ නැත. අල්පෙශාක්යය’යි සිතයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත් වෙයි. විශේෂයෙන් මත්වෙයි. ප්රමාදයට පැමිණෙයි. මත්වූයේම දුකසේ වාසය කරයි. මහණෙනි, ඒ මහණතෙම මේ ශාසනබ්රහ්මචරියාවෙහි කොලඅතු ගත්තේයයිද එයින්ම කෙළවරට පැමිණියේයයිද කියනු ලැබේ.
6. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්රයෙක් ඉපදීමෙන්ද, ජරාවෙන්ද මරණයෙන්ද ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැයි’ (සිතා) ශ්රද්ධාවෙන් ගිහි ගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමිය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. –