3. ඔපම්ම වර්ගය
1. 3. 1.
කකචූපම සූත්‍රය
1. මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි මොලියඵග්ගුණ භික්ෂුව වේලාව ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරන්නේය. ඉදින් කිසි භික්ෂුවක් මොලියඵග්ගුණ භික්ෂුව ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ අගුණ කියාද, මොලියඵග්ගුණ භික්ෂුව ඒ භික්ෂුව හා කිපියේ නොසතුටුවූයේ (විනය ධර භික්ෂූන් ඉදිරියෙහි) නඩුද පවරයි. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි මොලියඵග්ගුණ භික්ෂුවගේ නුගුණ කියාද, ඒ භික්ෂුණීහු ඒ භික්ෂුව සමග කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු (විනයධර භික්ෂූන් ඉදිරියෙහි) නඩුද කියත්. මොලියඵග්ගුණ භික්ෂුව මෙතරම් භික්ෂුණීන් හා එක්ව වාසය කරයි.
2. ඉක්බිති එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක උන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළේය. “ස්වාමීන් වහන්ස, මොලියඵග්ගුණ භික්ෂුව වේලා ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරයි. ස්වාමීන් වහන්ස, ඉදින් යම් භික්ෂුවක් මොලියඵග්ගුණ භික්ෂුව ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද, එයින් මොලියඵග්ගුණ භික්ෂුව කිපියේ නොසතුටු සිත් ඇත්තේ නඩුද කියයි. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි මොලියඵග්ගුණ භික්ෂුවගේ නුගුණ කියාද, එයින් ඒ භික්ෂුණීහු කිපුනාහු නොසතුටු සිත් ඇත්තාහු නඩුද කියත්. ස්වාමීන් වහන්ස, මොලියඵග්ගුණ භික්ෂුව මෙතරම් භික්ෂුණීන් සමග එක්ව වෙසේය’යි (කීය.)
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවා, “මහණ මෙහි එව, මගේ වචනයෙන් ‘ශාස්තෘන් වහන්සේ ඔබ කැඳවන්නේය’යි කියා මොලියඵග්ගුණ භික්ෂුව කැඳවා එව’යි වදාළහ. ඒ භික්ෂු තෙම ‘එසේය ස්වාමීනි,’ කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී මොලියඵග්ගුණ භික්ෂුව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ මොලියඵග්ගුණ භික්ෂුවට මෙසේ කීය. ‘ඇවැත්නි, ඵග්ගුණය, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවනසේකැ’යි කීය. ‘ඇවැත්නි, එසේය’යි කියා මොලියඵග්ගුණ භික්ෂුතෙම ඒ භික්ෂුහට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට ගියේය. ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක උන්නාවූ මොලියඵග්ගුණ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
4. “ඵග්ගුණය, තෝ වේලා ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරන්නෙහිය. ඉදින් කිසි භික්ෂුවක් තොප ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද එයින් කිපියේ නොසතුටු සිත් ඇත්තේ නඩුද කියන්නෙහිය. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි තොපගේ අගුණ කියාද, එයින් ඒ භික්ෂුණීහු කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු නඩුද කියත්, ඵග්ගුණය, තොප මෙපරිද්දෙන් භික්ෂුණීන් සමග මිශ්‍රව වාසය කෙරෙහිය යනු සැබෑද?” “ස්වාමීනි, එසේය.” “ඵග්ගුණය, තොප ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදිවූ කුලපුත්‍රයෙක් නොවෙහිද?” “එසේය, ස්වාමීනි.”
5. “ඵග්ගුණය, යම් හෙයකින් තොප භික්ෂුණීන් සමග වේලාව ඉක්මවා එකතුව වාසය කරන්නෙහිද, මේ විහරණය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කුල පුත්‍රයෙකුට නුසුදුසුය. එහෙයින් ඵග්ගුණය, ඉදින් කිසිවෙක් තොප ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද ඵග්ගුණය, තොප එහිදු පංචකාම ගුණය ආශ්‍රය කොට ඇති ආශාවෝ වෙත්ද, පංචකාම ආශ්‍රය කොට ඇති යම් කල්පනාවෝ වෙත්ද ඔවුන් දුරුකරව. ඵග්ගුණය, එහිදු ‘මගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නෙමි. හිතවත්ව අනුකම්පා කරමින් මෛත්‍රී සිත් ඇත්තේ ද්වේෂ සිත් නැත්තේ වාසය කරන්නෙමි’යි මෙසේ හික්මිය යුතුයි. ඵග්ගුණය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.