1. 3. 10.
චූලසාරොපම සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර, අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වෙසෙති, එකල්හි වනාහි පිංගලකොච්ඡ නම් බ්රාහ්මණතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක්පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ පිංගලකොච්ඡ බුමුණු තෙම භාග්යවතුන් වහන්සේට මේ කාරණය කීය.
2. “භවත් ගෞතමයන් වහන්ස, පැවිදිවූ සංඝ සමූහයා ඇත්තා වූද එබඳු සමූහයාගේ ගුරුන්වූද ප්රසිද්ධ වූද කීර්තිය ඇත්තා වූද බොහෝ දෙනා විසින් උතුමන්යයි සම්මත කරන ලද්දාවූද යම් මේ ශ්රමණ බ්රහ්මණ කෙනෙක් ඇත්තාහුද එනම්, පූරණකස්සපය, මක්ඛලිගොසාලය, අජිත කෙසකම්බලීය, පකුධකච්චායනය, සංජය බෙල්ලට්ඨි පුත්තය, නිගණ්ඨනාත පුත්තය යන මොහුය. ඒ සියලු දෙන ඔවුන් කියන්නාසේම දැනගත්තාහුද? සියලු දෙනාම එසේ නොදැනගත්තාහුද? නැතහොත් සමහරු දැනගත්තාහුද, සමහරු නොදැන ගත්තාහුද?
3. “බ්රාහ්මණය, ඒ සියලුදෙන ඔවුන් කියන්නාසේම දැනගත්තාහුද? සියලු දෙනාම එසේ නොදත්තාහුද? නැතහොත් සමහරු දැනගත්තාහුද? සමහරු නොදැනගත්තාහුද? යන මේ දැනගැණීමෙන් වැඩක් නැත. ඒ ප්රශ්ණය තිබේවා! බ්රාහ්මණය, මම තොපට ධර්මය දේශනා කරන්නෙමි. එය අසව්, හොඳින් සිහි කරව්”යි (භාග්යවතුන් වහන්සේ වදාළහ.) “එසේය පින්වතුන් වහන්සැයි” පිංගලකොච්ඡ බමුණු තෙම භාග්යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
4. “බ්රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා එලය ඉක්මවා, පොත්ත ඉක්මවා, සුඹුල ඉක්මවා අරටුවයයි සිතා අතු හා දලු සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. “මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය, එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය. එනිසා මේ පින්වත් පුරුෂයා, අරටුවෙන් ප්රයෝජන ඇත්තේ අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි ගසක අරටුව ඉක්මවා එලය ඉක්මවා, පොත්ත ඉක්මවා, සුඹුල ඉක්මවා අරටුවයයි සිතා අතු හා දලු සිඳ ගෙනයන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය’ කියායි.
5. “බ්රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා පොත්ත ඉක්මවා අරටුවයයි සිතා සුඹුල ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය, එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, සුඹුල නොදත්තේය, අතු හා දලු නොදත්තේය, ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි ගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා පොත්ත ඉක්මවා අරටුවයයි සිතා සුඹුල සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය’කියායි.
6. “බ්රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක පිහිටි) අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා, අරටුව යයි සිතා පොත්ත සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය, ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ, අරටුව ඉක්මවා එලය ඉක්මවා අරටුවයයි සිතා පොත්ත සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඒ වැඩය නොසිදු වන්නේය’කියායි.
7. “බ්රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්රයෝජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා, අරටුවයයි සිතා එලය සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය, එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය. ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්රයෝජන ඇත්තේ අරටු සොයන්නේ අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා අරටුව යයි සිතා එලය සිඳගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය’ කියායි.