1. 3. 6.
අරියපරියෙසන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ සිවුරු හා පාත්‍රය ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩියහ. එකල්හි බොහෝ භික්ෂූහු ආනන්දස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ. “ඇවැත්නි, ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කථාවක් අසන්ට නොලැබී බොහෝ කල් ගතවිය. ඇවැත්නි, ආනන්දයෙනි, අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කථාවක් ඇසීමට ලබන්නෙමුනම් ඉතායෙහෙක” (කියායි) “ආයුෂ්මතුනි, එසේවී නම් රම්මක නම් බමුණාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද එතැනට පැමිණෙව්. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කථාවක් අසන්නට ලබන්නහුය”යි කීය. “ඇවැත්නි, එසේය.” කියා ඒ භික්ෂූහු ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුනේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. “ආනන්දයෙනි, මිගාරමාතා ප්‍රාසාදනම්වූ පූර්වාරාම විහාරය යම් තැනෙක්හිද, දවල්කාලයේ වාසය සඳහා එහි යමු” යි (කීහ) ආනන්ද ස්ථවිරයන් වහන්සේ ‘එසේය ස්වාමීනි,’ කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේද සමග මිගාර මාතා ප්‍රාසාද නම්වූ පූර්වාරාමය යම් තැනෙක්හිද එතැන්හි දවල් කාලයේ වාසය පිණිස වැඩියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිට ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකොට ආනන්දය, ඇඟසෝදා ගනු සඳහා නැගෙනහිර නාන කොටුවට යමු’යි කීහ. ‘එසේය ස්වාමීනි’යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේද සමග නැගෙනහිර නාන කොටුවට වැඩියහ. වැඩ, ඇඟ සෝදා ගොඩනැඟී ඇඟදිය සිඳුවමින් එකම හඳනා සිවුරෙන් යුක්තව වැඩසිටියහ.
4. ඉක්බිති ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි මේ රම්මක නම් බමුණාගේ ආශ්‍රමය සමීපයෙහි වේ. ස්වාමීනි, රම්මක නම් බමුණාගේ ආශ්‍රමය සිත් ගන්නේය. ස්වාමීනි, රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමය දුටුවන් පහදවන්නේය. ස්වාමීනි, රම්මක බමුණාගේ ආශ්‍රමය යම්තැනෙක්හිද අනුකම්පා කොට එහි වඩිනු මැනවි.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මක බමුණාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද එතැනට වැඩියහ. එකල්හි බොහෝ භික්ෂූහු රම්මක බමුණාගේ ආශ්‍රමයට වී දැහැමි කථාවෙන් යුක්තව උන්නාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කථාවේ අවසානය බලාපොරොත්තු වෙමින් දොරටුවෙන් පිටත වැඩ සිටියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථා කෙළවර දැන කාරා දොර අගුල සමීපයට තට්ටු කළහ. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දොර හැරියාහුය.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මක බමුණාගේ ආශ්‍රමයට ඇතුල්ව පණවන ලද බුද්ධාසනයෙහි වැඩඋන්හ. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් මෙසේ ඇසූහ. “මහණෙනි, තෙපි දැන් කිනම් කථාවකින් යුක්තව සිටියහුද? තොපගේ කිනම් අතුරු කථාවක් අඩාල වීද?” (කියාය) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේම අරභයා පැවති අපගේ දැහැමි කථාව අඩාල විය. එවිට, භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක්ය”යි (කීහ) “මහණෙනි, මැනවි, තොපි දැහැමි කථාවෙන් යුක්තව හුන්නාහුය, යන මේ කාරණය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කුලපුත්‍රවූ තොපට සුදුසු මැයි. මහණෙනි රැස්වූ තොප විසින් දැහැමි කථාවක් පැවැත්වීම හෝ ආර්යවූ තුෂ්ණිම්භාවය හෝ යන දෙකින් එකක් කටයුතුයි.”
7. මහණෙනි, මේ සෙවීම් දෙකකි. ආර්යයන් විසින් කටයුතු සෙවීමය. අනාර්යයන් (පෘථග්ජනයන්) විසින් කටයුතු සෙවීමය යන මේ දෙකයි.
මහණෙනි, අනාර්ය පර්යේෂණ (පෘථග්ජනයන් විසින් කටයුතු සෙවීම) යනු කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් තෙමේ ජාතිය ස්වභාව කෙට ඇත්තෙක්ව ජාතිය ස්වභාවකොට ඇතියක්ම සොයයි. ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇතියක්ම සොයයි. තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි. තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාවකොට ඇත්තක්ම සොයයි. තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාව කොට ඇතියක්ම සොයයි. තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
8. මහණෙනි, කුමක් ජාතිය ස්වභාවකොට ඇත්තකැයි කියව්ද? මහණෙනි, අඹු දරුවන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. එළු-බැටළුවන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. කුකුළන් ඌරන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ජාතිය ස්වභාවකොට ඇත්තකි. මහණෙනි, මේ ජාතිය ස්වභාවකොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්. මෙහි ගිලුනාවූ මුර්ඡාවූ බැසගත්තාවූ මේ සත්ත්ව තෙමේ තමා ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
9. මහණෙනි, කුමක් ජරාව ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? අඹු දරුවන් ජරාව ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ජරාව ස්වභාවකොට ඇත්තකි. එළු-බැටළුවන් ජරාව ස්වභාව කොට ඇත්තකි. කුකුළන්, ඌරන් ජරාව ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ජරාව ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ජරාව ස්වභාව කොට ඇත්තකි. මහණෙනි, ජරාව ස්වභාව කොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්, මෙහි ගිලුණාවූ මූර්ඡාවූ බැසගත්තාවූ මේ සත්ත්ව තෙමේ තමා ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇත්තක්ම සොයයි.