1. 3. 5.
නිවාප සූත්‍රය
1. එවං මෙ සුතං: මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථාකළහ. “ස්වාමීන් වහන්ස” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ:
2. “මහණෙනි, මුවන් ඇල්ලීමට තණ කොළ වවන තැනැත්තේ ‘මා විසින් මේ වවන තණකොළ අනුභව කරන්නාවූ මුව සමූහයා එය අනුභව කොට දීර්ඝායුෂ වෙත්වා, වර්ණවත් වෙත්වා, බොහෝ කලක් යැපෙත්වායි’ කියා නො වවන්නේය. ඔහු මෙසේ සිතාගෙන වවන්නේය. “මුව සමූහයා මා විසින් වවන මේ තණකොළ කොටුවට ඇතුල්වී මුසපත්ව ආහාර අනුභව කරන්නාහුය. ඇතුල්වී මුසපත්ව ආහාර අනුභව කරන්නාහු මත්වන්නාහුය. මත්වූවාහු සිහි නැති බවට පැමිණෙන්නාහ. සිහි නැති වූවාහු මේ තණකොළ කොටුවෙහිදී කැමතිසේ අල්ලාගත හැකි බවට පැමිණෙන්නාහුය’යි සිතා තණ කොටුව වවන්නේය.
3. “මහණෙනි, එහි පළමුවෙනි මුවසමූහය මුවන් ඇල්ලීම පිණිස තණ වවන්නහුගේ තණ කොටුවට ඇතුළුවී මුසපත් වූවාහු බොජුන් අනුභව කළහ. ඔව්හු එහි ඇතුල්ව මුසපත්ව බොජුන් අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදවූවාහු මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මහණෙනි මෙසේ වනාහි පළමුවෙනි මුව සමූහයා මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහ.
4. “මහණෙනි, එහි ලා දෙවන මුව සමූහය මෙසේ සිතූහ: ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය ඒ මුවන් අල්ලන්නාගේ තෘණ කොටුවට වැද මුසපත්වූවාහු භොජනයන් අනුභව කළාහුද, ඔව්හු එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු ඒ තණකොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුණාහ. යම්හෙයකින් අපි ඒ තණ කොටුවේ භොජනයෙන් සම්පූර්ණයෙන් වළකීමු නම් භය සහිත භොජනයෙන් වෙන්ව මහ වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක.’ ඔව්හු මුළුමණින් තණ කොටු භෝජනයෙන් වැළැක්කාහුය. බියෙන් අනුභව කටයුතු බොජුනෙන් වැළැක්කාහු මහ වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තෘණ හා ජල වියලී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුනු කල්හි මුවන් අල්ලන්නාගේ ඒ තෘණ කොටුවට ආපසු පැමිණියහ. ඔව්හු එහි වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහි මුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි මුව සමූහයද මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
5. “මහණෙනි, එහි තුන්වෙනි මුවසමූහය මෙසේ සිතූහ: ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ ඒ තණ කොටුවට වැද සිහිමුළා වූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවැනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. –
“යම් ඒ දෙවෙනි මුව සමූහය මෙසේ සිතූහ: ‘යම් ඒ පළමු වෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ තණ කොටුවට වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළාහුද, ඔව්හු එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රමබලයෙන් නොමිදුනාහුය. අපි සම්පූර්ණයෙන් තණ කොටු භොජනයෙන් වෙන්වෙමු නම් භයින් අනුභවකළ යුතු ආහාරයෙන් වෙන්ව වනයටවැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ ඔව්හු තෘණ කොටු භොජනයෙන් සම්පූර්ණයෙන් වෙන්වූහ. භයින් අනුභව කළයුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ආපසු පැමිණියහ. ඔව්හු එහි වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහිමුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාවූ ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි මුව සමූහයද මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. –
“යන්නූන මයං අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස උපනිස්සාය ආසයං කප්පෙය්යාම. එහෙයින් අපි මුවන් අල්ලන්නාගේ මේ තණ කොටුවට නුදුරුව සැඟවී සිටින තැනක් සදාගන්නෙමු නම් යහපති. එහි වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුළු නොවී සිහිමුළා නොවී ආහාර අනුභව කරන්නෙමු. ඇතුළු නොවී සිහි මුළානොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණෙන්නෙමු. මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණියෝම ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට නොපැමිණෙන්නේමු’. ඔව්හු මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරුව සැඟවී සිටින ස්ථානයක් කොට වාසය කළාහුය. වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුළු නොවී සිහි මුළානොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළානොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණියාහ.
6. “මහණෙනි, එහි මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙබඳු සිතක්විය: ‘මේ තුන්වන මුව සමූහය කයිරාටිකය. කපටිය. මේ තුන්වන මුව සමූහයා ඍද්ධි ඇත්තවුන් වැනිය, මොව්හු යක්ෂයන් වැනිය. ඔව්හු තෘණකොටුවේ තෘණද අනුභව කරත්. ඔවුන්ගේ ඊම් හෝ යාම හෝ නොදනිමු. –