1. 3. 4.
රථවිනීත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලනන්දකනිවාපනම්වූ වෙලුවන විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි බොහෝවූ ජාත භූමක භික්ෂූහු (බුදු රජාණන් වහන්සේ උපන් භූමියවූ කිඹුල්වත්පුර නිවැසි භික්ෂූහු) කිඹුල්වත් පුර නුවර වස්වැස පවාරණයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකපැත්තක උන්නාහුය. එකපැත්තක උන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
2. “මහණෙනි, කිඹුල්වත්පුර නුවර වාසීවූ සමාන බඹසර ඇති භික්ෂූන් අතුරෙන් කවර නම් භික්ෂුවක් මෙසේ ගරු කරන ලද්දේද? තෙමේත් අල්පෙච්ඡව (ස්වල්පයකින් සතුටුව) භික්ෂූන්ටද අල්පෙච්ඡ කථා කියන්නේද? තෙමේත් ලැබුණ ප්‍රත්‍යයකින් සතුටුව භික්ෂූන්ටද ලද දෙයින් සතුටුවීමේ කථා කියන්නේද? තෙමේත් විවේකව වාසය කරමින් භික්ෂූන්ටද විවේක වාසය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් අන්‍යයන් හා මිශ්‍රනොවී භික්ෂූන්ටත් මිශ්‍ර නොවීම පිළිබඳ කථා කියන්නේද, තෙමේත් පටන් ගත් වීර්ය ඇතිව භික්ෂූන්ටද වීර්ය කිරීම පිළිබඳ කථා කියන්නේද? තෙමේත් ශීලයෙන් යුක්තව භික්ෂූන්ටද සීල සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් සමාධියෙන් යුක්තව භික්ෂූන්ටද සමාධි සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් ප්‍රඥාවෙන් යුක්තව භික්ෂූන්ටද ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් අර්හත් ඵලයෙන් යුක්තව භික්ෂූන්ටද අර්හත් ඵලය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් විමුක්ති ඥාන දර්ශනයෙන් (ප්‍රත්‍යවෙක්ෂා ඥානයෙන්) යුක්තව භික්ෂූන්ටද විමුක්ති ඥානදර්ශන සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද, භික්ෂූන්ට අවවාද කරන්නේද, අවබෝධ කරවන්නේද, කරුණු දක්වන්නේද, සමාදන් කරවන්නේද, උත්සාහ උපදවන්නේද, සතුටු කරවන්නේද?” (කියාය.)
3. “ස්වාමීනි, ආයුෂ්මත් මන්තානීපුත්‍ර පුණ්ණ නම් ස්ථවිරයන් වහන්සේ ජාත භූමියෙහි ජාත භූමක භික්ෂූන් විසින් මෙසේ ගරු බුහුමන් කරන ලද්දේය: තෙමේත් අල්පෙච්ඡව (ස්වල්පයකින් සතුටුව) භික්ෂූන්ටද අල්පෙච්ඡ කථා කියන්නේය. තෙමේත් ලැබුණ ප්‍රත්‍යයකින් සතුටුව භික්ෂූන්ටද ලද දෙයින් සතුටු වීමේ කථා කියන්නේය. තෙමේත් විවේකව වාසය කරමින් භික්ෂූන්ටද විවේක වාසය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් අන්‍යයන් හා මිශ්‍ර නොවී භික්ෂූන්ටත් මිශ්‍ර නොවීම පිළිබඳ කථා කියන්නේය. තෙමේත් පටන්ගත් වීර්ය ඇතිව භික්ෂූන්ටද වීර්ය කිරීම පිළිබඳ කථා කියන්නේය. තෙමේත් ශීලයෙන් යුක්තව භික්ෂූන්ටත් සීල සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් සමාධියෙන් යුක්තව භික්ෂූන්ටත් සමාධි සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් ප්‍රඥාවෙන් යුක්තව භික්ෂූන්ටත් ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් අර්හත් ඵලයෙන් යුක්තව භික්ෂූන්ටත් අර්හත්ඵලය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තව භික්ෂූන්ටත් විමුක්ති ඥාන දර්ශන සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. භික්ෂූන්ට අවවාද කරන්නේය. අවබෝධ කරවන්නේය. කරුණු දක්වන්නේය. සමාදන් කරවන්නේය. උත්සාහ උපදවන්නේය. සතුටු කරවන්නේය” (කියාය.)
4. එකල්හි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සිටියහ. ඉක්බිති ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ කල්පනාව ඇතිවිය. “නුවණැත්තාවූ සමාන බඹසර ඇත්තාවූ භික්ෂූන් ශාස්තෲන් වහන්සේ හමුවෙහි දශ කථා වස්තූන්හට බසිමින් යමෙකුගේ ගුණ මෙසේ කියත්ද ඒ ආයුෂ්මත් මන්තානීපුත්‍ර පුණ්ණ ස්ථවිරයන් වහන්සේට ලාභයකි. මහත් ලාභයකි. අපි කිසියම් දවසක ආයුෂ්මත් මන්තානීපුත්‍ර පුණ්ණ ස්ථවිරයන් හා මුණගැසෙමු නම් හොඳය. කිසියම් කථා සල්ලාපයක් ඇතිවුවහොත් හොඳය’ (කියාය.)
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැතිතාක් කල් රජගහනුවර වැඩ සිට, පිළිවෙළින් සැරිසරා සැවැත්නුවරට වැඩියහ. එහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරති. මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩ අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරතියි ඇසූහ.
6. ඉක්බිති මන්තානීපුත්ත පුණ්ණස්ථවිරයන් වහන්සේ තමාගේ සේනාසනය තැන්පත්කොට පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවර යම් තැනකද එහි චාරිකාවෙහි වැඩියහ. පිළිවෙළින් සැරිසරා සැවැත්නුවර ජේතවනාරාමය යම් තැනකද භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි ළඟා වූහ. ළඟාවී, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්හ. එකත්පසෙක උන් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. උත්සාහ කරවූහ. සතුටු කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද්දාවූ, සමාදන් කරවන ලද්දාවූ, උත්සාහ කරවන ලද්දාවූ සතුටු කරවන ලද්දාවූ, ආයුෂ්මත් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට, අන්ධ වනය යම් තැනෙක්හිද එතැන්හි දහවල් විසීම සඳහා වැඩියේය.
7. ඉක්බිති එක්තරා භික්ෂුවක් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි ගියේය. ගොස්, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. “ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඔබ වහන්සේ යම් මන්තානීපුත්ත පුණ්ණ නම් භික්ෂුවක් ගැන නිතර කියන්නහුද ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ උත්සාහ කරවන ලද්දේ, සතුටු කරවන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණුකොට අන්ධ වනය යම් තැනෙක්හිද එතැන්හි දහවල් විසීම සඳහා වැඩියේය” (කියායි.)