1. 3. 3.
වම්මික සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එසමයෙහි කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අන්ධ වනයෙහි වාසය කළහ. එකල එක්තරා බ්‍රහ්මරාජයෙක් රාත්‍රියේ පළමුවෙනි යාමය ඉක්මගිය කල්හි, විසිතුරු වර්ණයෙන් සියලු අන්ධවනය එකාලොක කොට බබුලුවා කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ ඒ බ්‍රහ්මරාජතෙම කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය:
2. “මහණ, මහණ, මේ තුඹස රාත්‍රියෙහි දුම්දමයි, දවල් කාලයෙහි ඇවිලෙයි. බ්‍රාහ්මණයෙක් මෙසේ කීයේය: ‘සුමෙධය, ආයුධයක් ගෙන සාරව’යි. ආයුධයක් ගෙන සාරා බලන්නාවූ සුමේධ තෙම දොර අගුලක් දුටුවේය. ‘ස්වාමීනි, දොර අගුලෙකැ’යි කීයේය. බ්‍රාහ්මණ තෙම: ‘දොර අගුල ඔසවා දමව, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරවන්නාවූ සුමෙධතෙම (පිම්බෙන වර්ගයේ) මැඩියෙකු දුටුයේය. ‘වහන්ස, මැඩියෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම: ‘මැඩියා ඔසවා දමව, සුමෙධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම දෙමංසන්ධියක් දුටුයේය. ‘වහන්ස, දෙමංසන්ධියකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම: ‘දෙමංසන්ධිය උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන, සාරන්නාවූ සුමෙධතෙම, අළු පෙරහනක් දුටුයේය. ‘ස්වාමීනි අළු පෙරහනකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම: ‘අළු පෙරහන උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධයක් ගෙන සාරන්නාවූ සුමෙධ තෙම ඉදිබුවෙකු දුටුවේය. ‘ස්වාමීනි, ඉදිබුවෙකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම: ‘ඉදිබුවා, ගොඩගනුව, සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දුටුවේය. ‘ස්වාමීනි, මස් කපන කැත්තක් හා මස් ලොඹුවකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම: ‘මස් කපන කැත්ත හා මස්ලොඹුව ගොඩගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස්වැදැල්ලක් දුටුයේය. ‘ස්වාමීනි, මස් වැදැල්ලකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම: ‘මස් වැදැල්ල ගොඩ ගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම නාගයෙකු දුටුවේය. ‘ස්වාමීනි, නාගයෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම: “නාගරාජතෙම සිටීවා. නාගරාජයා නොගටව, නාගරාජයාට නමස්කාර කරව”’යි.
3. මහණ, ඔබ මේ ප්‍රශ්නයන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ විචාරව. ඔබට භාග්‍යවතුන් වහන්සේ යම්සේ ප්‍රකාශ කොට වදාරණසේක්ද එපරිද්දෙන් ඒ ප්‍රශ්න දරාගනුව. මහණ, සර්වඥයන් වහන්සේ හැර, සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයන් හැර, මා කෙරෙන් අසා කියන්නවුන් හැර, මේ ප්‍රශ්නයන් විසඳීමෙන් යමෙක් හිත සතුටු කරන්නේද එබඳු පුද්ගලයෙක් දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහිද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ පිරිස්හිද නොදක්නෙමි’යි. ඒ බ්‍රහ්මරාජ තෙම මේ වචනය මෙසේ කියා එතැන්හිම අතුරුදන් වූයේය.
4. ඉක්බිත්තෙන් ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්ථවිරතෙම ඒ රාත්‍රියයේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ කුමාරකාශ්‍යප ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය: “ස්වාමීනි, ඉකුත් රාත්‍රියෙහි එක්තරා බ්‍රහ්මයෙක් තමන්ගේ ශරීර ආලෝකයෙන් මුළු අන්ධවනය එකාලොක කොට බබුලුවා මම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ එක පැත්තක උන්නේය. ස්වාමීනි, එක පැත්තක උන්නාවූ ඒ බ්‍රහ්මයා මට මෙසේ කීවේය: